Feeds:
ලිපි
ප්‍රතිචාර

Archive for මැයි, 2011

මේ ලියන මො‍හොත වන විට කටුනායක වෙළෙද කලාපයේ සේවය කළ කම්කරුවන් විසි  තුන්‍ දෙනෙකු රෝහලේය. ඒ පුද්ගලික අංශ‍යට යෝජිත විශ්‍රාම වැටුප් පනතට එරෙහිව පන්දහසක් පමණ සේවකියින් එක්ව කටුනායකදී කළ උද්ඝෝෂණයේදී ය. යුද්ධයෙන් පසු ප්‍රථම වරට   පොලිසිය විසින් ප්‍රසිද්ධියේ ජීව උන්ඩ යොදාගෙන මිනිස්සුන්ට වෙඩි තැබීම ආරම්භ  කළේ අදය (30). දැනටමත් මේ සිදුවීම පිළිබද ප්‍රමාණවත් තොරතුරු ප්‍රකාශයට පත් වී හමාරය. එබැවින් සිදුවෙමින් ඇති කාලකණ්නි සිද්ධි දාමය පිළිබද වන අපගේ දැක්ම   පමණක් ලියා තබමු.

අනුන්ගේ නිවසකට බලහත් කාරයෙන් ඇතුළු වී ඒ තැනැත්තාගේ සුතනඹුව හා යහන්ගත වීමට ඇති අයිතිය පිළිබදව රටේ රජ්ජුරුවන්ටවත්   විමසිය හැකි නොවේ. ගෙහිමියා නපුංසකයෙක් නොවේ නම් එවිට සිදුවිය හැකි ආසන්නම සිදුවීම වන්නේ   යහනේ ඇති පොල්ලක්   ගලවා රජුදැයි නොබලා යෝජනාව ගෙනෙනා අවලමාගේ පුරුෂ නිමිත්ත සුන් කරවන තරමේ පහරක් ලැබීමය.

මේ රටේ පුද්ගලික අංශයේ ‍සේවයින් ස්වකීය ජීවිතය දියකර හැර උපයා ගන්නා දෙයින් ඉතිරිවන මුදල හා සේවා යෝජකයා එක්කරන මුදල ඒකරාශි කර වන සේවක අර්ථසාධක අරමුදල පිළිබදව වන ශුද්ධ වූ අයිතිය ඇත්තේ එම ශ්‍රමිකයාටය. එය කාගේවත් බූදලයක් නොවේ. බෙල සුන් වූ කල පුද්ගලික අංශ සේවකයින්ට ජීවිතයේ අවසන් භාගය ගෙවා දැමීමට පදනම නිර්මාණය කළ  එම මුදලට  බියකින් හා සැකයකින් තොරව අත තබන්නට යොජනාවිම පවා බිහිසුනු අනාගත ඛේදවාචකයක සංවේදනයන් මවා තිබේ. එමෙන්ම ස්වකීය අයිතිය රක්ෂා කරගැනිමට කතා කිරිම ජීවිතයෙන් වන්දිගෙවිමට සිදුවන අපරාධයක් බව ඉගි කර ඇත. ඒ අද කටුනායක වෙළෙද කලාපයේ නිරායුධ උද්ඝෝෂකයින්ට ජීව උන්ඩ වලින් වෙඩි තබා පෙන්වී‍මෙනි. ශ්‍රමිකයින් ලෙස තිබූ සියලු වරප්‍රසාද හා අ‍‍යිතීන් වෙළෙද කලාප තුළ නැතිකර දමා ඇති මොහොතක තමුන් සතු එකම නියත අයිතිය වූ අර්ථසාධකයත් නොමැතිවීමේ අවදානමට මුහුණ දිය නොහැකිවූ මේ පිරිස් වීදි බැස තිබුණහ.

දැන් අපි මනෝරාජික පාරිශුද්ධ ‍හෙල බොදු රාජ්‍යයත් එය කරවනා මහ රජාණන් හා ඔහුගේ ඇම්බැට්‍ටයනුත් නිරුවත් වන අයුරු සංවේගයෙන් යුතුව බලාගෙන හිදමු . අංගවිකලව සිටි ජනතා විමුක්ති පෙරමුණට කිහිලි කරු සපයමින්ද , නන්නත්තාර යු. එන්. පි යට සටන්පාඨ සොයා දෙමින්ද රජය අරඹා ඇති මේ තුච්ඡ මංකොල්ලය , අනුන්ගේ නිවසකට වැද නිවැසියාගේ අඹුව හා යහන්ගත වීමට යෝජනා කරනා අවලමාගේ පුරුෂ නිමිත් සුන්වීමෙන්  නිමවන්නාක් මෙන්  නිමා වීමට ඉඩ තිබේ. එහෙත් එය නිමා වනු ඇත්තේ යුද්ධ ගණනාවකින් සිදුවූ ව්‍යසනයට වඩා ව්‍යසනයක් ජාතික ආර්ථිකයට සිදු කරමිනි.

මේ අතරම පසක් කරගත යුතු යථාර්ථයක් වේ. අපට ව්‍යසනයක වේදනාව දැනෙන්නේ එය අපේ ගෙදර එළිපත්තට පැමිණ අපව පෙළා දමන විටය. දැන් ඒ ව්‍යසනය අප හමුවට පැමිණ ඇත. පත්තු‍වන තුවක්කු වලට වාර්ගික භේදයක් නොමැති බවත් , උතුරේ පමණක් නොව දකුණේදීත් ඒ තුවක්කු පත්තු වන බවත් ඉන් උපදිනා වේදනාවේ හා  අවිනිශ්ඡිත බවේ බරෙහි වාර්ගික හෝ පලාත් ලෙස වන වෙනසක් නොවන බවත් ප්‍රයෝගිකව වටහාගැනිමට දැන් අපට අවස්ථාව ලැබී තිබේ.

ලෝක ඉතිහාසය පසක් කළ සත්‍යයක් තිබේ. මහා ජන බලයකින් කරඩු සේ වඩම්මා  සිංහාසනාරූඪ කරනා නායකයින් ස්වකිය දේශපාලන ගමන නිමා කරන්නේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු තුච්ඡ ලෙස බිද දැමූ අන්ත දූෂිත කාලකන්ණි ප්‍රතිගාමින් ලෙසිනි. සිහිනෙනුදු ප්‍රාර්ථනා නොකළයුතු ඒ කාලකන්ණි අත්දැකිම සැබෑ ලෙසම අපට බරවැඩිය.

Advertisements

Read Full Post »

 

 

 මුලින්ම මේ මල් දෙක දෙස බලන්නට මම ඔබට ඇරයුම් කරමි. සුදෝසුදුවට බබලමින් සැනහෙන මේ මල් පිපී තිබුණේ දියපොදක් තරම් දෙයක් පිළිබද පලාපොරෝත්තු තැබිය නොහැකි ටියුනීසියානු කාන්තාරයේ සුදු වැලි මතය.

දිය පොදක් නැති කාන්තාර වලත් මල් පිපෙන්නේය. සුදු මල් පිපෙන්නේය.

බෙහෙවිනම කටුක අත්දැකීමක් සමූහයක් අතර මැද වුවද ජීවිතය ගැන බලාපො‍රොත්තු තැබිය හැකිබව රත්නාකරය මට කියා දී ඇත. රත්නාකරය සොයා ගැනිමට පෙර ටියුනීසියානු කාන්තාරයේ සුදුමල් ඒ කතාව ම‍ට කීයා තිබු‍ණේය.

 මේ වකවානුවේ ජාතික පත්තරයක පත්තරකාරයෙක් වීම තරම්ම අපුල දනවන අත්දැකීමක් නැත. රස්සාවට පත්තර රස්සාව තෝරා ගැනීමේ වේදනාවත් පිලිකුලත් පීඩාවත් විරේචනය කරගැනීමට සයිබර් අවකාශ‍ය තෝරා ගතිමි. රත්නාකරය එහි ඵලයයි.

පරිගණකය ගැනත් අන්තර්ජාලය ගැනත් මෙලෝ හසරක් නොදැන සිටි මා ඒ පිළිබද  දැනුමත් අවබෝධයත් ලබා ගත්තේ මෙබදු බ්ලොග් අඩවියක් පවත්වා ගැනීම වෙනුවෙනි.  පත්තර සමාගම් අයිතිකාරයින් පාර්ලිමේන්තුවේ පහළ පෙළේ මන්ත්‍රීවරුන් වී රජ්ජුරුවන්ගේ  කුණු හොදමින් කවදා හෝ තමුන්ට රජ වීම සදහා සිහින දකින විට, තවත් සමහරුන් ආන්ඩුවේ සමාගම් වල  සභාපතිවරුන් වී රජ්ජුරුවන්ට පත්තර වලින් ආතල් දෙන විට , අපට ලියන්නට ඉතිරි වී ඇත්තේ මැහුම් ගෙතුම් හා ඉහුම් පිහුම් ගැන පමණි.

ඒත් දැන් මට ලියන්නට හැකිය. ලියන්නට ‍බොහෝ දේ ති‍බේ.ඔබ එය නොබැලුවත් ලියා හිත සැහැල්ලු කරගත හැකිය. එහෙත් එකතුවී සංවාදයක් ගොඩනගන්නට අපට ඇති ඉඩකඩ ගැන මා තුළ යහපත් බලාපොරෝත්තු මාත්‍රයක් තිබේ.මේ බ්ලොග් අඩවිය අරඹන්නේ ඒ පුංචි බලා‍පොරොත්තුව මහමෙරක් සේ හිතේ ගුලි කර ගනිමිනි.

Read Full Post »