Feeds:
ලිපි
ප්‍රතිචාර

  • බෝමබය ගහනකොට තේවාව පටන් අරන්… පිපිරුම අතරත් නොනවත්වා තේවාව කරලා

  • සුන්බුන් වූ මාළිගාව තුළ දළදා වහන්සේට නොකඩවා වත්පිළිවෙත් පවත්වලා…

  • සජීවී සංස්කෘතික උරුමයක් සංරක්ෂණය කළ යුතු ආකාර ගැන ලෝක ආදර්ශය ලැබුණෙ දළදා මළිගාව ප්‍රතිසංසකරණයෙදි…

අවසානයේ එල්.ටී.ටී.ඊ.ය ඒ ම්ලේච්ඡ තීන්දුව ගෙන තිබුණේය. දිනය 1998 වසරේ ජනවාරි 26දාය. වෙලාව උදෑසන 6.05ට පමණය. බෞද්ධයාගේ ආධ්‍යාත්මයේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා වහන්සේ වැඩ හිඳිනා උත්තුංග පුදුබිම සුන් කර දමා තිබිණි. විනාශය සිදු කළේ බෝම්බ ලොරියකි. රජ වීදියේ සිට පැමිණි බෝම්බ ලොරියේ ඉලක්කය වී තිබුණේ දළදා මන්දිරය තුළට වැදී එය සහමුලින්ම විනාශ කිරීමය. එහෙත් ලොරියේ පැමිණීම දුරින්ම දුටු පොලිස් නිලධාරිනියක් වාහල්කඩ ප්‍රවේශය වසා දැමුවාය. වාහල්කඩ ඉදිරියේ ලොරිය පුපුරා ගියේය.

ප්‍රහාරයේ තරම
එළියේ සිට බලන විට දක්නට ලැබුණේ සුන්බුන් කන්දකි. වාහල්කඩ සැරසී තිබුණේ මනරම් සෙල්මුවා කැටයම් බිඳී ගොස්ය. සඳකඩපහණ කුඩුය. ඒ අබියස වූ ඇත් රූ, පංචනාරී රූ සහිත වාහල්කඩ ඇසුරෙහි වූ කැටයම් කැබලිවලට කැඩීය. නාථ දේවාලය අවට වනස්පතීන් ගිනි ගනිමිනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මාලිගය, මැද වාහල ගොඩනැඟිලි, නාථ දේවාල , රාජ හස්ථි අනුරූ සහිත කෞතුකාගාරය නටබුන් අතරය. පත්තිරිප්පුවේ මැද බාල්කය පිපිරී තිබිණි. පල්ලේ මාලේ බිත්ති ඉරි තැළී බදාම ඇදහැලෙමිනි. බිතු සිතුවම් තිබූ තැනක නැත. දළදා මාලිගාවේ වහල මුළුමනින්ම පාහේ බිඳී විසිරී ගොස්ය. එහෙත් මාලිගාව දෙසට ගින්න නොපැතිරිණි. දිය අගල ඊට හේතු වන්නට ඇත. හාත්පස මළ මිනීය. විසිරී තිබූ මළ සිරුරු 11කි. තවත් 17 දෙනෙක් බරපතළ තුවාල ලබාය. අයෙක් සිහි සුන්වය. තවකකුගේ මරහඬ ඇසෙමින් තිබිණි. එළියේ සිට දකින්නාහු හිස අත් බැඳගත්හ. ඔවුන් දුටුවේ සියල්ල විනාශ වූ පුදබිමක බිහිසුණු දැකුමය.

බෝම්බ ප්‍රහාරය මැද සිදුවූ තේවාව
බිහිසුණු බෝම්බ ප්‍රහාරයෙන් දළදා වහන්සේ වැඩ සිටි, වැඩ සිටිනා මාලිගාව ව්‍යසනයට ලක්වූයේ නැත. පුරාණ ඉදිකිරීම් තාක්ෂණයේ මහිමය එය ය. බිත්ති කම්පනය වූ බව සැබෑය. වරිච්චි සහිත මැටි බිත්ති ඒ දැවැන්ත කම්පනය අවශෝෂණය කර තිබිණි. අභ්‍යන්තර කුටියට එපිටින් වූ ඉදිකිරීම් නිසා වැඩ හිඳිනා මාලිගාව අනතුරින් ආවරණය වූයේය.
ඒ වකවානුවේ අස්ගිරි මහ නායක හිමියෝ රඹුක්වැල්ලේ ශ්‍රී විපස්සී හිමියෝය. මල්වතු පාර්ශ්වයේ මහ නායක ධුරන්ධරව වැඩ වාසය කළෝ පළිපානේ ශ්‍රී චන්දානන්ද නා හිමියෝය. මේ වනවිට දළදා තේවාව අධිපතීත්වය මල්වතු පාර්ශ්වයට හිමිව තිබිණි.

බෝම්බය පුපුරන විටත් උදෑසන තේවාව පැවැත්වෙමිනි. තේවාව පවත්වමින් වැඩඋන්නේ අම්පිටියේ චන්ද්‍රරතන හිමියන්ය. දළදා මාලිගාව දෙදරා ගිය බව සැබෑය. එහෙත් අම්පිටියේ චන්ද්‍රරතන හිමියෝ තේවාව නොනවත්වා දිගටම පවත්වාගෙන ගියහ.

ජාතියට එල්ල වූ ප්‍රහාරය
අද වන විට සංස්කෘතික උරුමය ව්‍යසනයට ලක් කිරීම යුද්ධයකදී ත්‍රස්තවාදීන් විසින් හඳුනා ගත් එක් ම්ලේච්ඡ ක්‍රමෝපායකි. අල්කයිඩා ත්‍රස්තවාදීහු බාමියන් ප්‍රතිමා සුන් කර දැම්මේ ලෝකයේම හදවත් නවත්වමිනි. අයි. එස්. ත්‍රස්තවාදීහු සිරියාවේ පැල්මයිරා ඇතුළු විශ්ව උරුමය ව්‍යසනයට ලක් කළේ එය භාරව සිටි සංරක්ෂකයාද ඝාතනය කරමිනි. යේමනයේදී ශිෂ්ටාචාරයක විභූතිමත් සාධක සුන් වූයේය. එහෙත් 1998දී එල්ටීටීඊය දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කරන අවධිය වන විට සම්භාවනීය උරුමයන් ත්‍රස්තවාදයේ අංගයක් ලෙස විනාශ කිරීමේ අශිෂ්ටකම පිළිබඳව ලෝකයට සුලබ අත්දැකීම් තිබුණේ නැත. මෑත ඉතිහාසයේ ඊට පෙර එවැනි සිදුවීම් වාර්තා වී තිබුණේ එක් වරක් පමණි.
ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය සැලසුම් කරන්නේ භෞතික හානි පමණක් අපේක්ෂාවෙන් නොවේ. ප්‍රහාරයේ අර්ථය බෞද්ධයන්ගේ සංයමය සුනුවිසුනු කර විකල් කිරීමය. රට පනස් වැනි නිදහස් දිනයට සැරසෙමින් සිටියේය. ප්‍රධාන ආරාධිතයා බි්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුයි. අභිලාෂය ලෝකය හමුවේ රටේ පෞරුෂයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරන්නටය. ඉන් උපදින කම්පනය මහා ජාතික ව්‍යසනයක් වී වාර්ගික ගැටුමක් තෙක් ගමන් කරන තුරු එල්.ටී.ටී.ඊ.ය බලාගෙන සිටියේය.

මහනුවර බහු වාර්ගික හා බහු ආගමික විචිත්‍රත්වයක් සහිත නගරයකි. දළදා මාලිගාවට සිදුකළ ප්‍රහාරයත් සමඟ මේ පොළොවේ මිනිසුන්ගේ දියුණු ආධ්‍යාත්මයේ ගැඹුර ලෝකයට ප්‍රකට විය. රටම මළගෙයක් වූ බව සැබෑය. එහෙත් වෛරී හැඟීමෙන් එකම ගල් කැටයක දෙයක් නොවැදිණි. ඒ වෙනුවට රට තුළ මතුවූයේ හැකි ඉක්මනින් මේ පුදබිම මේ බෝම්බ ප්‍රහාරයට මොහොතකට පෙර තිබූ තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ඇතිවුණු සංවාදය ය.
මාලිගාව සුන්බුන් වී තිබිණි. පියස්ස විසිරී ගොස්ය. අහසේ තරු එළිය පියස්ස යටින් සුන්බුන් බිමට වැටෙමිනි. එහෙත් බෝම්බ ප්‍රහාරය සිදුවෙද්දීත් නොනවත්වා පැවැත්වූ තේවාව එක මොහොතකට හෝ නවත්වන්නටවත් අතපසු කරන්නටවත් මහ නායක හිමිවරු හෝ එවකට දියවඩන නිලමේව සිටි නෙරංජන් විජේරත්නයෝ කටයුතු නොකළහ. චිරාගත සාම්ප්‍රදායානුකූල දළදා පූජාව නොකඩවා පැවැත්විණි.

සංරක්ෂණය
බෝම්බය පිපිරුණ දාට පසුදා සිටම දළදා මැඳුර යළිත් පෙර පැවැති ආකාරයටම ප්‍රතිනිර්මාණය කළ යුතුය යන සංවාදය සමාජයේ සෑම තලයකින්ම ප්‍රවාහයක් සේ මතුවී පැමිණියේය. රටේ සෑම මාධ්‍යයක්ම මේ කතිකාව පුළුල් ලෙස ගොඩනංවනු ලැබූහ. රජය දළදා මන්දිරය සංරක්ෂණය කිරීම සඳහා වහාම ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවූයේය. එය මහ නායක හිමිවරුන්ගේ, දියවඩන නිලමේ ඇතුළු දළදා මණ්ඩලයේ, ගිහි භාරකාරත්වයෙන් මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෘත්තිකයන් ඇතුළු ඉන්ජිනේරු, තාක්ෂණික සේවා සමස්තය නියෝජනය කරන දේශීය විද්වත් පර්ෂදයකින් සමන්විත වූයේය. ආචාර්ය ගැමුණු සිල්වා, මහාචාර්ය ජගත් වීරසිංහ, ආචාර්ය ශිරාන් දැරණියගල ඇතුළු විශිෂ්ට විද්වත්හු මෙම කමිටුව නියෝජනය කළහ. එහි සභාපතිකම, පහසුකම් සැපයීමේ හා අධීක්ෂණ වගකීම පෞද්ගලිකවම එවක සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් පවරා ගත්තාය.

සමස්තයක් ලෙස ගත් විට මේ සංරක්ෂණ කටයුත්ත පුරාවිද්‍යා අනුමිතීන් තුළ කළ යුතු පුරාවිද්‍යා සංරක්ෂණ කටයුත්තක් විය. එම වගකීම් පැවැරුණේ එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වාස්තු විද්‍යා සංරක්ෂණ අංශයෙහි අංශාධිපති ආචාර්ය ගාමිණී විජේසූරියටය. ඒ වනවිටත් ඔහු ක්‍ෂේත්‍රයේ ප්‍රාමාණිකයෙක් සේ ලෝක සම්භාවනාවට ලක්වූවෙකි. ඉතාලියේ පිහිටා ඇති යුනෙස්කෝව යටතේ පවතිනා සංස්කෘතික දේපළ ආරක්ෂා කිරීම හා සංරක්ෂණ අධ්‍යයනය පිළිබඳ අන්තර්ජාතික ආයතනයේ ව්‍යාපෘති කළමනාකාරවරයෙක් මෙන්ම ජාත්‍යන්තර සිවිල් සේවකයෙක් ලෙසත් ඉන්පසු වකවානුවේ කටයුතු කළ ඔහු සිය අධීක්ෂණය යටතේ කළ දළදා මාලිගාවේ සංරක්ෂණ ප්‍රයාමය හරහා ලෝකයට නව දැනුම් පරාසයක් විවර කළේය. උරුම සංරක්ෂණය සම්බන්ධව ලෝකයේ එතෙක් පැවැති ශාස්ත්‍රීය සංකල්ප විචාරයට ලක්කරමින් උරුම සංරක්ෂණය පිළිබඳ නව මූලධර්ම සහිත සංවාදයක් ඇති කළ ඒ විශිෂ්ට සංරක්ෂණ කාර්යය සම්බන්ධව ආචාර්ය ගාමිණී විජේසූරියගේ මතකය අතිශය සිත් අලවනසුලුය.

අතීත මතකය
“දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අරමුදලක් පිහිටුවනු ලැබුවා. රජය මේ අරමුදල පිළිබඳ දන්වලා දින දෙකක් ගියේ නෑ ආධාරවල ප්‍රමාණය රුපියල් මිලියන දෙකක් පැන්නා. අවසානයේදී දළදා මන්දිරය යළි ගොඩනැංවීම සඳහා ලැබුණු ආධාරවල වටිනාකම රුපියල් මිලියන සියය ඉක්මවා ගියා. එය ඒ කාලෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු විද්වත් නිලධාරීන් විසින් සැකසූ ඇස්තමේන්තුවට වඩා තුන් ගුණයකටත් වැඩි මුදලක්”

“මේ ව්‍යසනයේදී රටේ සියලුම දේශපාලන පක්ෂ එකට එකතු වුණා කිසිම බෙදීමක් නැතිව. ජාති ආගම් භේදයකින් තොරව වෘත්තිකයන් හා විද්වතුන් තමන්ගෙ දැනුම දෙන්න ස්වේඡාවෙන් ඉදිරිපත් වුණා. මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරිලා තිබුණේ ඉතාම බැරෑරුම් වගකීමක්. අධීක්ෂණය සෘජුවම තිබෙන්නේ රටේ ජනාධිපතිනියගේ අතේ. රටේ මිනිසුන්ගෙ ප්‍රාර්ථනාව, මහ නායක හිමිවරුන් ඇතුළු මහ සංඝරත්නයේ ප්‍රාර්ථනාව ඉටු කළ යුතුයි. පුරාවිද්‍යාව ලෙස ශාස්ත්‍රීය පදනමක් මත සංරක්ෂණය කළ යුතුයි.”

“ඇත්තටම ඓතිහාසික ආගමික ගොඩනැඟිලි සංරක්ෂණය කිරීමේ විශිෂ්ට පළපුරුද්දක් දැනුමක් සහිත වෘත්තිකයන් පිරිසක් අපට හිටියා. ඒත් අපි ඉස්සරහ තිබුණෙ වෙනස් අභියෝගයක්. මේ සංරක්ෂණ කටයුත්ත කළ යුතුව තිබුණේ වෙනස් පරිසරයක. පුරාවිද්‍යාව ලෙස අප බටහිරින් ලබාගත් මූලධර්ම සහිත දැනුම ඒ ආකාරයෙන්ම මේ සංරක්ෂණයට ආදේශ කරන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. එසේ කළ හැකි භෞතික ඉදිකිරීමක් පමණක්ම නෙමෙයි අප ඉදිරියෙ තිබුණේ. මේක ජීවමාන උරුමයක්. ඒ සුන්බුන් අතරත් තේවාව පැවැත්වෙනවා. ආගමික පුදපූජා පැවැත්වෙනවා. මිනිස්සු ඇවිත් අෑත ඉඳන් සුන්බුන් සහිත ගොඩනැඟිල්ලට වැඳලා යනවා. අප මේ සංරක්ෂණය කළ යුතුව තිබුණෙ ඒ සජීවී සංස්කෘතියක් තුළයි.”

තීන්දු පහළ සිට ඉහළට
“ජනාධිපතිනිය සංරක්ෂණය සම්බන්ධව සෘජු උපදෙසක් ලබාදුන්නා. ඇය කීවා සංරක්ෂණ කටයුතු වෘත්තිකයන් අතින් සිදුවුවත් සෑම වැදගත් සංරක්ෂණ තීන්දුවක්ම මහ නායක හිමිවරුන් විසින් අනුමත කළ යුතුයි කියලා. මේ වගේ තත්ත්වයක් මීට ඉහත කවදාවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අත්දැක තිබුණෙ නෑ. සියල්ලම තිබුණෙ ඔවුන්ට පහළින්. ඔවුන් තමයි විශේෂඥයො. ඔවුන් තමයි සංරක්ෂණ තීන්දු ගත්තේ. ඔවුන්ගේ නිගමනය තමයි අවසාන නිගමනය.”

“අපට සංරක්ෂණය කරන්න තිබුණු ගොඩනැඟිල්ලෙ 17 වැනි සියවසට අයත් සෙල් කැටයම් ඇතුළු බොහෝ ඉදිකිරීම් විනාශ වෙලා. සිතුවම් සහිත මැටි බදාම තට්ටු බිඳිලා. අපි ලබාගෙන හිටපු දැනුම සහිත පුරාවිද්‍යාත්මක න්‍යායන්ට අනුව විනාශ වී ගිය අංග ඉවත් කිරීම මෙන්ම කෞතුක ඉදිකිරීම්වලට මැදිහත්වීම අවම විය යුතුයි. එහෙත් සමාජ අපේක්ෂාව ඊට වඩා හාත්පසින් වෙනස්. ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ වන්දනීය පුදබිම මිසක් න්‍යායාත්මකව සංරක්ෂණය කළ පුරාවිද්‍යා ස්මාරකයක් නොවෙයි.”
“විවිධ යෝජනා ගලා ආවා. ඒ එක්කම සජීවී පුදබිමක් යළි සංරක්ෂණය කිරීමේදී ඒ හා මතුවිය යුතු සංස්කෘතික හා පාරම්පරික ඥානය පිළිබඳ අලුත් පාඩමක් අපේ මහ නායක හිමිවරු අපට කියා දුන්නා. එහි ගැඹුර කොපමණදැයි අපට වැටහුණේ අපේ ශාස්ත්‍රීය මානය ඉවත් කරලා ඒ ඉල්ලීම්වලට සාවධාන වුණාට පස්සෙ.”

“දළදා මාලිගාවේ සඳකඩපහණ ඇතුළු නුවර යුගයේ විශිෂ්ට සෙල්මුවා කැටයම් රාශියක් මුළුමනින්ම විනාශ වෙලා. මෙම සෙල්මුවා කැටයම් නිර්මාණය කළ තාක්ෂණයත් එම ඥානයත්, ඒ පාරම්පරික කැටයම් ශිල්පීන්ගේ පරම්පරාත් ඒ වනවිට රටින් අතුරුදන්ව තිබුණා. මේ අඩුව පුරවා ගන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉන්දියානු මූර්ති ශිල්පීන්ගේ සහයෝගය ලබාගැනීමට කල්පනා කරමින් සිටියා.”

“මේ යෝජනාව මහ නායක හිමිවරුන් විසින් මුළුමනින්ම බැහැර කළා. උන්වහන්සේ් අපේක්ෂා කළේ අපේ පාරම්පරික ඥානය යළි මතුකරගෙන හෝ අපේ මිනිසුන් අතින් මේ කටයුත්ත සිද්ධ වනු දැකීම. පසුව පුවත්පත් දැන්වීම් පළකරලා රට වටා හොයලා මෙබඳු කටයුත්තකට යොමු කරගත හැකි දැනුමක් හා හැකියාවක් සහිත කැටයම් ශිල්ප පරම්පරා තුනක් සොයා ගත්තා. දළදා මාලිගාවේ අද අප දකිනා සඳකඩපහණ, ඇත් කැටයම් ඇතුළු සෙල්මුවා කැටයම් පෙර පරිදිම නිම වූයේ මේ මිනිස්සු අතින්.”
“සංරක්ෂණ කටයුත්තේදී අතිශයින්ම වැදගත් වුණේ ප්‍රමිතියක් සහිත දැව සපයා ගැනීම. අප යෝජනා කළා මේ දැව බුරුමය හෝ එවැනි රටකින් පහසුවෙන් ආනයනය කරගන්න. මේ යෝජනාව ගැන කියනකොට මහ නායක හිමිවරුන්ගේ මුහුණත් මැලවිලා ගියා. උන්වහන්සේලා පිටරටකින් එක ලී කෑල්ලක්වත් ගෙනත් දළදා මාලිගාවෙ පියස්සෙ තැන්පත් කරන්න කැමැති වුණේ නෑ. ඒ හින්දා ජනාධිපතිනිය නියෝගයක් නිකුත් කළා රාජ්‍ය දැව සංස්ථාවට මේ සංරක්ෂණය නිමාවනතුරු අපට නොපෙන්වා එකම දැව කඳක්වත් අලෙවි කරන්න එපා කියලා.”

“අනෙක් වැදගත්ම කාරණාව මතු වුණේ සමහර නවකම්වල රන් ආලේප කිරීමේදී. ඒ සඳහා නවීන තාක්ෂණික උපක්‍රම යෝජනා වුණා. මෙහිදී අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හාමුදුරුවන් වහන්සේ මෙතෙක් මේ රටින් මැකී ගියා කියලා සිතා සිටි පාරම්පරික රන් ආලේපන ක්‍රමවේදය පිළිබඳව ලියැවුණු ලේඛනයක් ඉදිරිපත් කළා. ඒ පාරම්පරික තාක්ෂණය හරහා රන් ආලේප කිරීමට අපට උපදෙස් දුන්නා. වැළලී ගිය ශිල්ප ක්‍රම හා තාක්ෂණ මතුවෙමින් තිබුණෙ අපවත් විස්මයට පත් කරමින්.”

“මේ දැනුම ක්‍රියාත්මක වුණා. සෑම සංරක්ෂණ සැලසුමක්ම මහ නායක හිමිවරුන් ඇතුළු ජනාධිපති කාර්ය සාධක බළකායට ඉදිරිපත් කර අනුමත කරගන්න අපට සිදුවුණා. විනාශ වූ කොටස්වල නවකම් කළා. විනාශ වූ සියලු කැටයම් හා මූර්ති අලුතින් නිර්මාණය කළා. සිතුවම් යළි ඇඳීමට උපදෙස් ලැබුණත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කරුණු පැහැදිලි කිරීම මත බිඳී ගිය සිතුවම් තලයෙන් සූක්ෂ්ම ලෙස සිතුවම් සහිත බදාම පතුරු තෝරාගෙන අලවා පැරැණි සිතුවම් කොටස් සංරක්ෂණය කිරීමට අනුමැතිය ලබා ගත්තා.”
“මෙතෙක් මෙබඳු කටයුතුවලදී තීරණ ගලා ගියේ උඩ සිට පහළට. එහෙත් නව ප්‍රවේශයක් නිර්මාණය කරමින් තීරණ පහළ සිට ඉහළට ගලා ආවා. මේ ක්‍රමවේදය මෙතෙක් බටහිරින් අනුදත් සංරක්ෂණ න්‍යායයන්වලට මුළුමනින්ම නව අර්ථකතනයක් එක් කළා. මේ සංරක්ෂණ න්‍යාය ශාස්ත්‍රීය ලෝකයට නව දැනුමක් එක්කරමින් ප්‍රායෝගික වුණේ පළමු වරට. මේ සංවාදය ලෝක මට්ටමින් ගලාගෙන ගියා. මා ජාත්‍යන්තර ශාස්ත්‍රීය ප්‍රකාශන ගණනාවක මේ දැනුම පිළිබඳ සංවාදය කළා. අද මේ ආදර්ශ ලෝකය පිළිගන්නවා.”

“උරුමය නිර්මාණය කළේ මිනිසුන් විසින්. ඒ ඔවුන් සඳහාමයි. ඔවුන් වෙනුවෙන්මයි. ඒ උරුමය රක්ෂා කළ යුත්තේත් මිනිසුන් විසින්මයි. ඉන් මනුෂ්‍යයන්ට සේවයක් විය යුතුයි. තිරසර සංවර්ධනය විෂයෙහි සේවයක් විය යුතුයි. එය බෙදා වෙන් කරගෙන අයිතිවාසිකම් කීමේ සාම්ප්‍රදායික සංකල්පවලින් පුරාවිද්‍යාවත් බැහැර විය යුතුයි කියන අදහස මා තුළ තියෙනවා. සංස්කෘතික ස්මාරකවල ද්‍රව්‍යමය ගුණය සම්බන්ධව තිබූ අතිවිශාල සැලකිල්ල එහි ආධ්‍යාත්මය පිළිබිඹු කරන සජීවී සංස්කෘතිකය යථාර්ථය වෙත යොමු විය යුතුයි කියන දැනුම තමයි දළදා මාලිගාව සංරක්ෂණය කිරීම හරහා අප ලෝකයට ලබා දුන්නේ.”

අවසානයේ ජාතියේ අපේක්ෂාව මල්පල ගැනිණි. බෝම්බය පිපිරී යෑමට මොහොතකට පෙර තිබූ දළදා මාලිගාව ජාතියට ලැබුණේය. සජීවී සංස්කෘතික උරුමයක් බෝම්බ ගසා විනාශ කළ නොහැකිය යන පණිවුඩය මුල්වරට ලෝක යථාර්ථයක් වූයේය. එම සංරක්ෂණ ක්‍රියාවලිය ලෝක ආදර්ශයක් සේ සම්භාවනාවට පාත්‍ර විය.
( ඉරිදා මව්බිම – 2018.01.28)

Advertisements

හර්ෂණගෙන් පටන් ගනිමු…..

විශාරද හර්ෂණ දිසානායක ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පවත්වන්නේය. එම ප්‍රසංගය පවත්වන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ ශාලාවේය. දවස ලබන සිකුරාදා (29) ය. වෙලාව සවස 6.00 ටය. ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහයන්ය. ප්‍රසංගයේ නම “ඉරෙන් හඳෙන්”ය. ඊට අනුග්‍රහය සපයන්නේ “සී.බී.එල්” සමාගමය.

හර්ෂණ ගැන අපට නම් අමුතු කතා නැත. තරුණ සමාජයේ රහක් ඇති, නාඩි වැටෙන උනුත් හර්ෂණ ගැන දන්නේය. එහෙත් ඒ පරම්පරාවේ ඛේදවාචකය ගැන ඇඟ හිරිවැටෙන්නේ මේ ප්‍රසංගයේ නිමිත්ත ඇසෙන විටය.

ප්‍රසංගය පවත්වන්නේ මීට අවුරුදු   15 ට පෙර මනරම් හඬක් ඇති දරුවෙක් ලෙස සුභාවිත ගීතයේ හැඩය දකින, මුවේ කිරි සුවඳ නොගිය දරුවෙක් ලෙස ගායන වෙනුවෙන් ජනාධිපති සම්මානයට ලක්වන, ඒ අවධියේම දිවයිනේ දක්ෂතම ගායකයා හා ජනප්‍රියම ගායකයාවන, වර්ෂ 2015 දී විශිෂ්ටම යොවුන් ගායකයාට හිමි රාජ්‍ය සංගීත සම්මානයෙන් පිදුම් ලබන, ගිය වසරේ දිවයිනේ විශිෂ්ටම ගායකයා ලෙස රාජ්‍ය සංගීත සම්මානය ලබමින් සම්මානිතවන  හර්ෂණගේ “යොවුන් හඬ පෞරුෂය ”රසික සමාජයට හඳුන්වා දීමටය.

වසර දෙකකට කලින් හොඳම යොවුන් ගායකා ලෙස රාජ්‍ය සම්මානටය පාත්‍ර වී ගිය අවුරුද්දේ හොඳම ගායකයා ලෙස රාජ්‍ය සම්මානයට ලක්වන මේ පරම්පරාවේ විශිෂ්ටයා ගේ යොවුන් හඬ හඳුන්වා දීමට අතින් වියදම් කරගෙන ප්‍රසංග පැවැත්වීමට ඔහුගේ මහප්පලාටත්, බාප්පලාටත් සිදුවී ඇති නම් ඒ විකෘතිය ගැන කම්පා වනවා නොව අප පුද්ගලික නිවාඩු දමා ගෙවල්වලට වී විලිලජ්ජාවට පත්විය යුතුය.

ඇත්තටම වසරේ විශිෂ්ටම ගායකයා ලෙස හර්ෂණ රාජ්‍ය සම්මානයට පාත්‍රවන ගීතය කුමක්දැයි මේ රටේ මිනිසුන් දන්නේ නැත. ඔහු යොවුන් ගායකයා ලෙස රාජ්‍ය සම්මානයට ලක්වන ගීතය ගැනත් දන්නේ නැත. හර්ෂණ ගැයූ මනරම් ගී සමුච්ඡය දන්නේ නැත. ඔහු වෙනුවෙන් ඒ ගී බහුතරයක් නිර්මාණය කළ ඔහුගේ පරම්පරාවේ විශිෂ්ට සංගීතඥයන් හෝ ගේය පද රචකයන් ගැන දන්නේත් නැත. ඒ නිසා ගිය වසරේ මේ රටේ විශිෂ්ටම ගායකයා ලෙස රාජ්‍ය සම්මානයට ලක්වුණු හර්ෂණගේ යොවුන් හඬ  හඳුන්වාදෙන ප්‍රසංගය නම්කරන්නට සිදුවී ඇත්තේත් ඔහු 2004 අවුරුද්දේ ළමයෙක් සේ ගැයූ ළමා ගීතයක්වන “ඉරෙන් හඳෙන්” ගීතයේ නමින්ය. හර්ෂණ “ඉරෙන් හඳෙන් ”ප්‍රසංගය හරහා අපට  පෙන්වමින් ඇත්තේ මේ රටේ සෑම ආකාරයක  යහපත් කලාවකටම අත්වී ඇති නිර්දය ඛේදවාචකයේ ස්වරූපයය.

රසිකත්වයෙන් තොර මනුෂ්‍යන් සහිත රටක යහපත් සමාජ සංවාදයක් උපදින්නේ නැත. යහපත් ආර්ථික සංවාදයක් උපදින්නේ නැත. යහපත් දේශපාලනික සංවාදයක් උපදින්නේ නැත. යහපත් සංස්කෘතික සංවාදයක් උපදින්නේ නැත. අප මේ මොහොතේ අත්විඳින මහා ව්‍යසනයේ මූලය පවතින්නේ එතැනය. අප අපට නොවැටහෙන කාලකණ්ණි සැලසුමක දුගී ගොදුරුය.

මේ ඇත්ත තේරුම් ගැනීම වැදගත්ය. මේ පවතින අශ්ලීල සමාජ දේශපාලන ක්‍රමයට පදනම් වන්නේ රසිකත්වය නොව අවරසිකත්වය ය. සුජාත භාවය නොව අවජාතකත්වය ය. සුභාවිතය නොව අවභාවිතය ය. අප සියල්ලන්ම මේ මොහොත ගත කරන්නේ මේ දුර්දාන්ත යථාර්ථය තුළ අඩු වැඩි වශයෙන් අවභාවිත වෙමින්ය. මේ ප්‍රකට වන්නේ සමාජයේ රසිකත්වය පිළිබඳ ප්‍රශ්නයට වඩා සහෘද සංවාදයක් උපදවන නිර්මාණවලට ඉඩක් නොමැතිකමය. මෑතකදී ඒ සඳහා ප්‍රකට උදාහරණය “කූඹියෝ” ටෙලි නාට්‍යය ය. පුරා වසර තුනක් රූපවාහිනී ප්‍රචාරය සඳහා ඉඩක් නොලද තුමිඳුලාගේ “කූඹියෝ” විකාශනය වීම ආරම්භ වී සතියකින්  දෙකකින් අයිසිංකාර ටෙලි නාට්‍යය කාරයින්ගේ ලපටි නිර්මාණ  ගව් ගණනක්  ඈතට විසිවී ගිය  අයුරු අප දුටුවේය. “කූඹියෝ ”කෘතිය තුළම ඇති විචාරය කියැවීමට මේ මොහොත වනවිට මේ රටේ මිනිස්සු පෙළඹී සිටිති. යහපත් නිර්මාණයක් වෙනුවෙන් අප කෙතරම් දරුණු පිපාසයකින් සිටියාදැයි  කියන්නට “කූඹියෝ” දෙස් දෙන්නේය.

මේ ඇත්ත ගීතයටත් වලංගුය. රියලිටි වැඩසටහන්වල ගැයෙන්නේ පැරණි භාවපූර්ණ ගී නම්, තරු බිහි කරන්නට එස්.එම්.එස් ගහන්නේ ඒ ගී වින්දනය කරනා මිනිසුන් නම් සුභාවිත ගීතය වෙනුවෙන් ස්වකීය තරුණ ජීවිතය කැප කළ හර්ෂණගේ යොවුන් හඬ පෞරුෂය හඳුන්වා දීමට ප්‍රසංග පැවැත්වීමට සිදුවීම අහවල් කුණුහරපයක් දැයි කිසිවෙක් විමසන්නේ නැත. අපේ ප්‍රවීණයන් කුහක ආත්ම උත්කර්ෂයෙන් බැහැරව මේ පරම්පරාව මුහුණ දී ඇති ඛේදවාචකයේ යථා ස්වරූපය තේරුම් ගන්නට උත්සාහ කළ යුත්තේ ඒ නිසාය.

ගීතයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙන 70-80 දශකවලත් ජනප්‍රියම ගායකයා අමරදේවයන් නොව, ජෝතිපාලය. එහෙත් රටේ රේඩියෝවට ජෝතිපාල විකුණා රේටින් වැඩි කරගැනීමේ තරගයක් තිබුණේ නැත. වඩා ප්‍රබුද්ධ කලාවක් වෙනුවෙන් වගකීම් සහිත වාරණයක් හා ප්‍රමිතියක් ගුවන්විදුලියට තිබුණි. ගීතයක් ප්‍රචාරය වුණේ නිශ්ඡිත පරිසාධන මට්ටමක් සම්පූර්ණ කළ පසුය. එබැවින් ස්වකීය පැවැත්ම සඳහාවත් යහපත් නිර්මාණ කිරීමේ අනිවාර්ය නියමයක් එකල නිර්මාණ කරුවන්ට තිබිණි. ඔවුන්ට යහපත් නිර්මාණ සඳහා බලකරනු ලැබුවේ මේ පැවැත්ම පිළිබඳ සාධකය ය. එහෙත් රාජ්‍ය ගුවන්විදුලි නාලිකාත්, කේශ නාලිකා තරමට ඇති එෆ්.එම් නාලිකා හා එක්ව කුණු කාණු පල්ලට වැටී පිස්සු කෙළින විට අපේ සමාජයේ අවරසිකත්වය  ගැන වියරු වැටෙන්නට කිසිම ප්‍රබුද්ධයෙකුට සාධාරණ හිමිකමක් නැත. එය මේ පරම්පරාවේ ප්‍රශ්නයක් නොවේ. හර්ෂණලා ප්‍රසංග පවත්වන්නේ එෆ්.එම් නාලිකාවලින් අඳෝනා තබා “රිංගින් ටෝන්” වලින් මුදල් උපයා ගන්නා තුට්ටුදෙකේ වෙළෙන්දන්ගේ පෙව්මන්ට් වෙළෙඳාම තම පරම්පරාවේ සංගීතය නොවන බව රටට කියන්නටය.

හර්ෂණගේ හඬ නොදන්නවා සේම ලෝකය දිනාගත හැකි නොදන්නා විශිෂ්ටයන් පිරසක් හර්ෂණගේ පරම්පරාවේ සිටින්නේය. රජී වසන්ත වෙල්ගම ගේ, අමිල තේනුවර ගේ, ලක්ෂාන්ත අතුකෝරල ගේ, රවී සිරිවර්ධන ගේ, අසංක රුවන් සාගර ගේ, පද රචනා අප දන්නා ඕනෑම ප්‍රභූ ගේය පද රචකයෙකුගේ පද රචනා වලට වඩා අඩු තැනක නැත.   දුමාල් වර්ණකුලසූරිය, තුසිත් සිම්ප්සන්, සමන් ලෙනින්, ශානික සුමනසේකර වැන්නවුන්ගේ ගායනයන් අප දන්නා ප්‍රභූ ගායනයන්ට වඩා අඩු තැනක නැත. දර්ශන රුවන් දිසානායක, දර්ශන වික්‍රමතුංග, අරුණ ගුණවර්ධන, නදීක ගුරුගේ වැනි සංගීතඥයන්ගේ සංගීත සංරචනා ඕනෑම ප්‍රභූ සංගීතඥයෙකුගේ නිර්මාණවලට දෙවෙනි වන්නේ නැත. එහෙත් මේ නිර්මාණකරුවන්ගේ සංවාදයට ලක්විය යුතු ප්‍රශස්ථ නිර්මාණ සඳහා රජයේ ගුවන්විදුලිය තුළවත් සාධනීය ඉඩක් නැත. ඔවුන්ට බලකරන්නේ ප්‍රසංග තබන්නට බැරිනම් පොළක් පොළක් ගානේ ගොස් ගොස් සිංදු කියන්නට නම් ඉන් ප්‍රකට වන්නේ පසුගිය දශක දෙක තුන තුළ මේ රට කළ පාලකයන්ගේ මජරකමය.

මේ පීඩනය තුළ ස්වකීය ලකුණ තබාගෙ උඩුගම් බලා යෑම සඳහා හර්ෂණට අත්වැල් සපයන්න අද්මිරාල් සෝමතිලක දිසානය මහප්පා ඉන්නේය. සෝමරත්න දිසානායක බාප්පා ඉන්නේය. එය හර්ෂණගේ නොව හර්ෂණගේ පරම්පරාවේ වාසනාවය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලබන 29 දාට එළි දකින්නේ හුදු ප්‍රසංගයක් නොව තමන්ගේ පෞරුෂය ලෝකයට කියන එක් පරම්පරාවක සංකථනයක් නිසාය.

ජානක ලියනආරච්චි
( මව්බිම – 2017.12.26 – “යං” අතිරේකය)

ලුසියානේ මරාන්සි මෙතරම් ආදරණීය ලෙස අපේ මිනිසුන්ගේ ජීවිතවලට බද්ධ වන්නේ රටේ මුළු ජන සමාජයම කම්පා කරමින් එක්‌තරා නරුමයෙක්‌ සිදු කළ උරුම සංහාරයක්‌ මුල් කර ගනිමිනි. ඒ කාලකණ්‌ණි සිදුවීම වන්නේ වර්ෂ 1967 ඔක්‌තෝබර් මස 14 වැනිදාය. එදින රාත්‍රියේ එක්‌තරා මනෝ විකෘතික නරුමයන් පිරිසක්‌ සීගිරියේ චිත්‍ර සිතුවම් කළ මණ්‌ඩෝදක කුටි පරිශ්‍රයට ඇතුළු වන්නේය. සීගිරි පව්වේ කැටපත් පවුරට අඩි 44 ක්‌ ඉහළින් බටහිර පෙදෙසේ පිහිටි මහා නැම්මක්‌ නිසා බිහිව තිබුණු අඩි 60ක්‌ පමණ දිග මේ ලෙන් පරිශ්‍රයේ ඒ සහ බී ලෙස නම්කර තිබූ ලෙන් කුටි දෙකෙහි ආරක්‌ෂිතව ඉතිරි වූ සිතුවම් 19 න් සිතුවම් 17 ක කොළ පැහැති තීන්ත වර්ගයක්‌ තවරා මුළුමනින්ම විකෘති කරන්නේය. මෙසේ විකෘති කළ සිතුවම් දෙකකින් එකක හිස කොටස සූරා දමන්නේය. තවත් සිතුවමක ඉඟෙන් උඩ කොටස උල් ආයුධයකින් ඇන විනාශ කරන්නේය. මේ සිතුවම් දෙක සංරක්‌ෂණය කළ නොහැකි තරමේ විනාශයකට ලක්‌වන්නේය.

සීගිරි කුරුටු ගී වල සඳහන් ආකාරයට කාශ්‍යපයන් විසින් ක්‍රිස්‌තු වර්ෂ 477 ට ආසන්න කාලයේදී සීගිරිය විචිත්‍රවත් කරමින් කරවූ සිතුවම් ප්‍රමාණය පන්සිය එකොළහකි. වර්ෂ 1967 වන විට ඉන් ඉතිරිව පැවතියේ චිත්‍ර විසි දෙකක්‌ පමණය. අපේ චිරන්තන මහා චිත්‍ර කලා සම්ප්‍රදායේ ප්‍රෙෘඪත්වය ගැන ලෝකයට කිව හැකි උත්තුංග උරුම සම්පත වූයේ මේ සිතුවම් 22 ය. එදා ඒ අර්ධ මනුෂ්‍යයන් විසින් ඉන් සිතුවම් 19ක්‌ වනසා දමා තිබිණි.

මේ සිදුවීමෙන් රටම කැළඹී ගියේය. පුවත්පත් සැරසුණේ මේ අපරාධය පිළිබඳ වූ වාර්තා වලිනි. එකම විද්යුත් මාධ්‍යය වූ ගුවන්විදුලිය සීගිරි සිතුවම්වලට කළ අපරාධය ප්‍රචාරය කළේය.

එවකට මෙරට පාලනය කරනු ලැබුවේ ඩඩ්ලි සේනානායක අගමැතිවරයාය. සංස්‌කෘතික ඇමැතිවරයා වූයේ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ලය. මේ සිදු වීම =වන විට පුරාවිද්‍යා කොමසාරිස්‌වරයාව සිටියේ ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුරය. විනාශය පිළිබඳ දැනගත් වහාම එය විමසා බැලීමට ඔහු විසින් පවරනු ලබන්නේ ආචාර්ය රාජා ද සිල්වා වෙතය. මේ ක්‍රියාවලි අතරතුරම උක්‌ත සිදු වීම මුල්කරගෙන පුරාවිද්‍යා කොමසාරිස්‌ ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර සිය ධුරයෙන් ඉල්ලා අස්‌වූයේය.

යතුරකින් දොර හැර කළ සිතුවම් විනාශය

ආචාර්ය රාජා ද සිල්වා විසින් තබන ලද මේ උරුම සංහාරය පිළිබඳ සටහන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන 1967-68 වාර්ෂික පාලන වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය.

කලබල වූ ඕවර්සියර් කෙනෙකුන් විසින් හරියට තේරුම්ගත නුහුණු ටැලිෙෆාaන් පණිවිඩයක්‌ අනුව සීගිරියේ බිතුසිතුවම් ගුහා තුළ ඇති චිත්‍රයන් මත පසුගිය රාත්‍රියේදී කොළපාට ලියන තීන්තයක්‌ කවුදෝ විනාශකාරීන් විසින් ඉසිනු ලදැයි වැටහී ගියෙන් සීගිරියට වහා ගොස්‌ එම තීන්ත අස්‌ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස 1967 ඔක්‌තෝබර් මස 15 වැනිදා උදේ එවකට පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා විසින් මට දන්වන ලදී.

ලියන තීන්ත අස්‌ කිරීම සඳහා විශාල ප්‍රමාණයක්‌ රසායන ද්‍රව්‍යයන් ද රැගෙන මගේ නැහැවීමේ කණ්‌ඩායමත් කැටුව එදා සවස සීගිරියට ළඟා වුණෙමි. මේ වන විට ඒ පළාතට වර්ෂා කාලය එළඹ තිබුණෝය. එහි ගිය අපට දැනගන්නට ලැබුණු අන්දමට එම මිල කළ නොහෙන බිතුසිතුවම් මත තවරා තිබුණේ ලියන තීන්ත නොව, දැන් කාලයේ ජනෙල් දොරවල යෙදීමට ගන්නා වර්ගයක කොළපාට තීන්තයකි. පෙරදින පරීක්‌ෂණයන්ට තදනන්තරව පොලිසිය විසින් බිතුසිතුවම් ගුහාවේ දොරට අලුත් ඉබ්බෙක්‌ යොදා තිබුණෙන් පසුදින උදයේ පොලිසියත් සමග චිත්‍ර පරීක්‌ෂා කරන ලදී.

පොලිසියේ අදහස වූයේ විනාශකාරීන් අගුළු ලා තිබුණු දොරවල් දෙකකට උඩින් පැන බිතුසිතුවම් ගුහාවේ අවසාන දොර යතුරකින් අරින ලද බවය.

(පුරාවිද්‍යා කොමසාරිස්‌ගේ පාලන වාර්තාව 1967-68 ආචාර්ය ආර්.එච්. ද සිල්වා. පි 23)

ICCROM මැදිහත් වීම එවකට අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු අමාත්‍යතුමාගේ ස්‌ථිර ලේකම්වරයා ලෙස කටයුතු කළේ ඇම්. ඡේ. පෙරේරාය. ඔහු විසින් මේ විනාශකාරී ක්‍රියාව පරීක්‌ෂා කර සිය අමාත්‍යවරයාට වාර්තාවක්‌ සැපයුවේය. අමාත්‍ය ඊරියගොල්ලයන්ගේ නිර්දේශය වූයේ බිතුසිතුවම් තහවුරු කිරීම පිළිබඳ ලැබිය හැකි ලෝකයේ සිටින හොඳම විශේෂඥවරයාගේ සේවය ලබා ගැනීමය. සිය අවශ්‍යතාව දක්‌වමින් හෙතෙම කේබල් පණිවුඩයක්‌ මාර්ගයෙන් ඉතාලියේ රෝමයේ පිහිටි සංස්‌කෘතික වස්‌තූන් හැදෑරීමේ සහ සංරක්‌ෂණය කිරීමේ අන්තර්ජාතික මධ්‍යස්‌ථානය (ICCROM) වෙතින් ඉල්ලීමක්‌ කළේය. ලුසියානෝ මරාන්සි නම් විශේෂඥ සිතුවම් සංරක්‌ෂකවරයා දෙසතියකට ලංකාවට එන්නේ එම ආයතනයේ මැදිහත් වීම සමගිනි. ඔහුගේ එම ශාස්‌ත්‍රීය කාර්යයට බරපැණ දරන්නේ ඇමරිකාවේ ස්‌මිත් සෝනියම් ආයතනය විසිනි.

වර්ෂ 1967 ඔක්‌තෝබර් මස 22 දා ලංකාවට පැමිණුන මරාන්සි මේ රටේ සංරක්‌ෂණ කණ්‌ඩායම සමග සාකච්ඡා කිරීම ඇරඹුවේය. පසුදිනම වැඩ ඇරඹිණි. මරාන්සි ඇතුළු දේශීය සංරක්‌ෂක කණ්‌ඩායම සීගිරිය බලා ගියෝය. මරාන්සිට තමා විසින් ගෙනෙන ලද රසායනික ද්‍රව්‍ය හා ලංකාවෙන් ලබාගත හැකි ද්‍රව්‍ය යොදාගෙන තිබුණාටත් වඩා ඉක්‌මන් ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ සකසා ගත හැකි විණි.

තිබුණාටත් වඩා හොඳයි

සීගිරි සිතුවම් මුලින්ම පිටපත් කර තිබුණේ ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්‌ වන එච්. සී. පී. බෙල්ගේ කාලයේය. එම කටයුත්ත කරනු ලැබ තිබුණේ එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයා ද වූ මරේ නමැත්තෙකි. ඒ වර්ෂ 1899 දීය. අනතුරුව වර්ෂ 1894 දී මුහන්දිරම් පෙරේරා නමැත්තෙක්‌ මෙම චිත්‍ර පිටපත් කළේය.

මරේ විසින් සිතුවම් තලය මත ටිෂූ කඩදාසි අතුරා නැවත ඒවා ඉවත් කිරීමේදී චිත්‍ර කොටස්‌ අවට වර්ණ තට්‌ටු ගැලවී තිබිණි. එම කොටස්‌ සුදට දිස්‌වන විට ඒවා වර්ණ ගැන්වීමට බෙල් කටයුතු කළේය. අනර්ථකාරීන් විසින් සීගිරි සිතුවම් මත ගල්වන ලද වර්ණ ස්‌ථරත්, සිතුවම් අවට වූ දිලීරත්, මේ පසු සකස්‌ කිරීම් වලදී යොදාගත් නොගැලපෙන වර්ණත් මුළුමනින්ම ඉවත් කර තිබුණාටත් වඩා යහපත් චිත්‍රාවලියක්‌ මතුකරගන්නට මරාන්සි ඇතුළු කණ්‌ඩායමට හැකි විය. මෙහෙයුමෙන් පසු සීගිරි චිත්‍ර යළි පණ ලැබුවේය. සිය රාජකාරිය හමාර කළ මරාන්සි 1967 නොවැම්බර් මස 4 දා ආපසු සිය රටට ගොස්‌ යළිත් 1968 මාර්තු මස 4 වැනිදා ලංකාවට පැමිණ සියලු සංරක්‌ෂණ කටයුතු හමාර කළේය. මේ අසිරිමත් සංරක්‌ෂණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 1967-68 පාලන වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය.

මරාන්සි මහතා මෙහි පැමිණ චිත්‍ර ගුහාවල ලඳුන් ඔවුන්ගේ ප්‍රකෘති ලක්‌ෂණ වලට පැමිණෙන සේ පණ ගන්වා වර්තමානයේත් අනාගතයේත් පරම්පරාවන්ගේ ආනන්දය පිණිස අප පුරාණ චිත්‍ර කලාවේ මේ නිදසුන් තබා පෙරළා සිය රටට ගියේය. ඔහුගේ සංරක්‌ෂණ වැඩවල අනර්ඝත්වය ගැන මේ රටේ ජනතාවත් අප දිවයිනෙන් පිටත වෙසෙන කලා රසිකයනුත් ඔහුට ගැතිය.

වර්ෂ 1968 වෙසක්‌ මස 9 දින සීගිරි ගලෙන් බටහිර පැත්තෙන් ඇති පැරණි රාජසභා ශාලාවේ පවත්වන ලද විශේෂ උත්සවයකින් පසු අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු පිළිබඳ ඇමැති අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල සීගිරි සිතුවම් ගුහා යළි ජනතාව විෂයෙහි විවෘත කරන ලදී.

ලුසියානෝ මරාන්සි නමැති අපේ සීගිරි මහත්තයා මීට අවුරුදු පහකට පෙර ඉතාම අප්‍රකටව මිය ගියේය.

කනගරත්නම් ජීවරත්නම් නැමැති “ශුද්ධ දේශපාලන සිරකරුවා” පසුගිය ඔක්තෝම්බර් 26දා නිදොස් වී නිදහස් වුණේය. මේ “ශුද්ධ දේශපාලන සිරකරුවා” ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවට පත්වන්නේ මරාගෙන මැරෙන කොටියෙක් ලෙසය. ඒ වර්ෂ 2007 ජූලි 01දාය. මේ ඔහු සම්බන්ධ අතීත කතාවට අදාළ සිදුවීම් පෙළය.

අවුරුද්ද 2006 ය. රට මහා ගින්නකය. උතුර මෙන්ම නැඟෙනහිරත් මරණයේ රුදුරු සෙවණැලි තුළය. එක දිගට එල්ලවන එල්.ටී.ටී.ඊ. ප්‍රහාර නැඟෙනහිර නාවික බලය ව්‍යසනයට ලක් කරමින් සිටියේය. නාවික සෙබළුන්ට ක්‍රියාන්විත රාජකාරියටත් වඩා බිහිසුණු අත්දැකීමක් වූයේ නිවාඩු ලබා ගමේ යෑමය. නිවාඩු ලැබූ නාවික හමුදා සෙබළු සහිතව කොළඹ එන රථ එක දිගටම එල්.ටී.ටී.ඊ සන්නද්ධ බුද්ධි ජාලයේ නිශ්චිත පහසු ඉලක්ක බවට පත්වෙමින් තිබිණි. හමුදාවක් ලෙස නැඟෙනහිරදී නාවික හමුදාව අසරණ වී සිටි ප්‍රමාණය අතිශය දුක්ඛිත විය. අවසානයේ නිවාඩු යන නාවික සෙබළු ගොඩබිමින් කොළඹ ගෙන යෑම නැවැත්වීමට හමුදා ප්‍රධානීහු තීන්දු කළහ. ඔවුන් නැවෙන් ගාල්ලට ගෙනගොස් එතැනින් බස් රථවල කොළඹ ගෙන්වන්නට නාවික හමුදාවට සිදුවිය.

නාවික හමුදාව ඒ මොහොතේ මුහුණ දී සිටියේ හමුදාවක් ලෙස ස්වකීය ආත්ම ගෞරවය ආරක්ෂා කරගැනීම පිළිබඳ ගැටලුවකටය. අඩුම තරමින් තමන්ගේ සෙබළුන් සුරක්ෂිතව නිවාඩු යැවීම සඳහා වූ සහතිකය ලබා දිය නොහැකි තරම් ගොඩබිම් මාර්ගය අනාරක්ෂිතව තිබිණි. එල්.ටී.ටී.ඊ සන්නද්ධ බුද්ධි ජාලය භූමියේ මෙහෙයුම් සියතට ගෙන සිටියහ. තමන් වෙත විවර නොවූ බිහිසුණු ත්‍රස්තවාදී ක්‍රියාන්විතයක සංකීර්ණ ස්වරූපය හඳුනා ගැනීම සඳහා රට වෙනුවෙන් කළ යුතු බුද්ධි මෙහෙයුමක අවශ්‍යතාව පැනනැඟී තිබිණි.

මේ වටපිටාවේදී නැඟෙනහිර නාවික බුද්ධි අංශයට නව මාණ්ඩලික බුද්ධි නිලධාරිවරයකු පත්වී ආවේය. ඔහු 2001 වසරේ නැඟෙනහිර එල්.ටී.ටී.ඊ කාඩරයන් වික්ෂිප්ත කළ මරාගෙන මැරෙන ප්‍රහාර බඳු ප්‍රහාර එල්ල කළ කුඩා කණ්ඩායම් මෙහෙයුම් භාරව කටයුතු කළ නිලධාරීන් කිහිප දෙනාගෙන් කෙනෙකි. නම සුමිත් රණසිංහය. වර්ෂ 2001 මැයි මස 21 වැනිදා සුමිත් රණසිංහ මෙහෙයවූ කුඩා කණ්ඩායම එල්.ටී.ටී.ඊ බල ප්‍රදේශය තුළ දැවැන්ත ක්‍රියාන්විතයක නිරත විය. එම ප්‍රහාරයේදී එල්.ටී.ටී.ඊ කාඩරයන් 14 දෙනෙක් මිය ගියහ. ඔවුන්ගේ ආයුධද රැගෙන මෙම කණ්ඩායම කඳවුරට පැමිණියහ. සාර්ථක මෙහෙයුමකින් අනතුරුව මේ පිරිසට නිවාඩු ලැබිණි. 2001 මැයි මස 23 වැනිදා කණ්ඩායම නිවාඩු ගියහ. මෙහෙයුම පිළිබඳ එල්.ටී.ටී.ඊ.ය හිටියේ බලවත් වෛරයෙනි. ඒ වනවිට මේ පිරිස නිවාඩු යන වගට වූ බුද්ධි තොරතුර එල්.ටී.ටී.ඊ. ය වෙත ලැබී තිබිණි. නාවික හමුදා කණ්ඩායම සහිත රථයට එල්.ටී.ටී.ඊ. සන්නද්ධ බුද්ධි කාඩරයෝ කන්තලේ 98 කණුව අසලදී ක්ලේමෝ ප්‍රහාරයක් එල්ල කළහ. නිවාඩු ගිය කණ්ඩායමේ 17 දෙනාගෙන් 14 දෙනෙක් එතැනම මිය ගියහ. සුමිත් රණසිංහ මියගියා සේ විය. මස් වැදැල්ලක් සේ රෝහල් ගත කළ ඔහු යන්තම් ජීවිතය බේරා ගත්තේය. එහෙත් ඔහුගේ ඇස් පෙනීම දුර්වල විය. කන් ඇසීම අඩුවිය. සුමිත් සිටියේ කායිකව සියයට හැටක ආබාධිත තත්ත්වයකය. එහෙත් ඔහුගේ බුද්ධි පෞරුෂය සම්බන්ධව නාවික හමුදාව විශ්වාස කර තිබිණි. නාවික හමුදාව අතිශය බිහිසුණු අර්බුදයකට මුහුණ දී සිටි මොහොතක සුමිත් රණසිංහ මාණ්ඩලික බුද්ධි නිලධාරි ලෙස ත්‍රිකුණාමලයට පැමිණියේය.

මේ වනවිට එල්.ටී.ටී.ඊ.යේ අභ්‍යන්තර දෙදරා යෑම ආරම්භ වී තිබිණි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැඟෙනහිර නායක කරුණා අම්මාන් උතුරේ නාකයත්වයෙන් බිඳී ගියේය. කරුණා පාර්ශ්වය හා වන්නි පාර්ශ්වය අතර ගැටුම අවි ගැටුමක් තෙක් දිග හැරිණි. වන්නි පාර්ශ්වය බලය අත් කරගත්තේය. අවසානයේ කරුණා සමඟ සිටි නැඟෙනහිර එල්.ටී.ටී.ඊ නායකයන් උපක්‍රමශීලීව වන්නියට කැඳවා එළිපිටම ඝාතනය කරනු ලැබීය.

මේ අවසරය හමුදා බුද්ධි අංශ විසින් සියුම් ලෙස හසුරුවමින් සිටියේය. නැඟෙනහිර නාවික හමුදා බුද්ධි ඒකකයේ ක්ෂේත්‍ර මෙහෙයුම් භාරව සිටි මාණ්ඩලික බුද්ධි නිලධාරි සුමිත් රණසිංහ යටතේ සිදුවූ මෙම බුද්ධි මෙහෙයුම් කෙතරම් විපුලත්වයට පත්වී ද යත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පුරාජේරුව වූ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන්ගේ බුද්ධි ජාලය විකල් වෙමින් තිබුණේය. නාවික බුද්ධි ඔත්තුකරුවෝ පොට්ටු අම්මාන්ගේ දෙවැනියා වූ කපිල් අම්මාන් හතර අතේ යැවූහ. ප්‍රහාර එල්ල කිරීම සඳහා වන්නියෙන් නැඟෙනහිරට එවන සන්නද්ධ බුද්ධි කාඩරයන් එකෙක් නෑර නාවික බුද්ධි ජාලයට කොටු වූයේ ළදරුවන් සේය. කොටුවූ සන්නද්ධ බුද්ධි සාමාජිකයන් මනෝ ශෝධනයට ලක් කර ස්වකීය බුද්ධි ඒජන්තයන් කරගැනීමේ විශිෂ්ට හැකියාව සුමිත් රණසිංහ තුළ තිබිණි. මරාගෙන මැරෙන මෙහෙයුම් සඳහා හමුදා කණ්ඩායම් විනාශ කිරීම සඳහා සන්නද්ධව පැමිණුණු එල්.ටී.ටී.ඊ. කාඩරයෝ අවසානයේ නැවතුණේ නාවික හමුදා බුද්ධි අංශයේ කොටස් වීමෙනි. ඔවුන් හරහා වන්නි මෙහෙයුම් මූලස්ථානය නොමඟ යවමින් අනාගත එල්.ටී.ටී.ඊ සැලසුම් සියතට ගැනීමට නාවික බුද්ධි අංශය කටයුතු කළේය. නැඟෙනහිර අමු සොහොනක් කිරීමට ගෙනැවිත් තිබූ ක්ලෝමෝ බෝම්බ, ගිනි අවි, ඇතුළු අවි ආයුධ තොග වශයෙන් නාවික හමුදාව අතට පත්විය. නැඟෙනහිර එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් මුළුමනින්ම ඇනහිටියේය.

මේ එල්.ටී.ටී.ඊ පිරිස් යුද්ධයෙන් අනතුරුව පුනරුත්ථාපිත මිනිසුන් සේ සමාජගත වූහ. යුද්ධය පවතිද්දී නාවික බුද්ධි අංශ අධීක්ෂණය යටතේම ඔවුන් අතර සිදුවූ විවාහයන් පිළිබඳ අසන්නට ලැබිණි. රටේ රැඳී සිටීමට අකැමැති වූ බොහෝ දෙනෙක් විදේශ රැකියාවලට යොමු කළේය. මේ මෙහෙයුම්හි විපුලත්වය කියන පුනරුත්ථාපිත එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හමුවූ අත්දැකීම් ඇත්තෙමි. නැඟෙනහිරදී සිදුවූ මේ බුද්ධි ක්‍රියාන්විතය බිහිසුණු යුද්ධයක් පවතින වකවානුවක දියත් වූ ලෝකයේ ඕනෑම විශිෂ්ට බුද්ධි මෙහෙයුමකට නොදෙවැනි එකකි.

මේ මෙහෙයුම් අතර නාවික බුද්ධි අංශය කම්පනයට පත්කරන බුද්ධි තොරතුරක් ලැබිණි. එම තොරතුරෙන් කියැවුණේ කොළඹ පුපුරුවා හැරීම සඳහා බෝම්බ ලොරි දෙකක් වන්නියෙන් එවා ඇති බවත් එම ලොරි දෙක දැනට නැඟෙනහිර ප්‍රදේශයේ ස්ථානගතව තිබෙන බවත්ය. ලොරි ඇවිත් තිබුණේ 2002 සාම කාලයේය. ඒ – 9 පාර දිගේය. මින් එක් බෝම්බ ලොරියක් කිසිම තොරතුරක් නැතිව අතුරුදන්ය. මේ බෝම්බ ලොරියට සිදුවූ දේ සොයාගත නොහැකි වුවහොත් කොළඹ කුඩු පට්ටම් වීමට නියමිතය.
මේ ගැන සෙවිල්ලේ ඉන්නා අවස්ථාවක පුද්ගලයෙක් පිළිබ¼ද තොරතුරක් ලැබිණි. ඒ ත්‍රිකුණාමලය පඩික්කන් මුහුදු තීරයේ මාළු වාඩි ආශ්‍රිතව සිය වාහනය ගාල්කර ජීවත්වන අධිශීතකරණයක් සහිත ලොරි රියදුරකු ගැනය. මේ තැනැත්තා බොහෝ විට කාලය ගතකරමින් සිටියේ මාළු වාඩිවලය. දවසකට මාළු කිලෝ හතළිහක් හෝ පනහක් එක් තැනකින් තවත් තැනකට තොග වශයෙන් අලෙවි කර ලබා ගන්නා මුදල හැරෙන්නට ඔහුට වෙන ආදායම් මාර්ගයක්ද ඇති බව නොපෙනිණි. එහෙත් ඔහු හැමදාම මත් පැන් සාද පැවැත්වූවේය. ලැබෙන අවස්ථාවල ඉහළ පෙළේ හෝටල්වලින් ආහාර පාන ගන්නා අයුරු පෙනුණේය. නිරීක්ෂණය වූ වැදගත්ම කාරණාව වූයේ ඔහු කාන්තා ඇසුර සඳහා කළ නිර්ලෝභී වියදමය.

මේ සැක කටයුතු නිරීක්ෂණයත් සමඟ මාණ්ඩලික බුද්ධි නිලධාරී සුමිත් රණසිංහ මේ පුද්ගලයාගේ තොරතුරුත් ඔහු පදවන අධි ශීතකරණය සහිත ලොරියේ හිමිකරුගේ තොරතුරුත් පසුපස ලුහුබැඳ යන්නට සිය ඔත්තුකරුවන් මෙහෙයවීය. ලොරියේ සඳහන්ව තිබුණේ නො.71, අන්පවේලිපුරම්, ත්‍රිකුණාමලය යන ලිපිනය ය. “පවර් ඔෆ් ජීසස්” ලෙස නම් කර තිබූ මෙම අධිශීතකරණ ලොරියේ හිමිකරු ගැන තොරතුරු මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනිණි. නිවෙස සෑහෙන කලක සිට වසා දමාය. වටපිටාවෙන් සෝදිසි කරන විට වාහනයේ හිමිකරු ලංකාවේත් නැත. ඔහු වාහනයත් ඔහුගේ වත්කම් ප්‍රමාණයත් හැර දමා ඉන්දියාවට ගොස්ය.

වාහනය පැදවූ තැනැත්තා පේදුරු තුඩුවේය. නම කනගරත්නම් ජීවරත්නම්ය. ඔහුගේ හැසිරීම පිළිබඳ සෑහෙන කාලයක් අවධානයෙන් සිටි නාවික බුද්ධි නිලධාරීහු එක් අවස්ථාවක ඔහුව උපක්‍රමශීලීව කොටුකර ගත්හ. බුද්ධි නිලධාරීන් හරහාම මත්පැන් සාදයක් සංවිධානය කෙරිණි. අධික ලෙස බීමත් වීමෙන් පසු ඔහු තමන්ගේ ඉලක්කයක් පිළිබඳ යම් ඉඟියක් ලබා දිණි. බීමත්ව ඇදවැටුණු පසු කඳවුර වෙත රැගෙන ගිය කනගරත්නම් පසුදා සවස් යාමයේ ප්‍රශ්න කිරීමට ලක් කෙරිණි.

ඔහු ඉතා පහසුවෙන් තමන්ගේ මෙහෙයුමේ තොරතුරු නාවික බුද්ධි අංශය වෙත ලබා දුන්නේය. ඔහු පඩික්කම් වෙරළේ ගාල් කර තිබුණේ අධි ශීතකරණ සහිත මාළු ප්‍රවාහන ලොරියක් නොව, අධි බල බෝම්බ ලොරියකි. මේ ලොරිය පදවාගෙන කනගරත්නම් අවස්ථා කීපයක්ම කොළඹ පැමිණ තිබුණේය. ඒ ත්‍රිකුණාමලයේ සිට මාළු පටවාගෙන කොළඹ මාළු කඩේටය. ලොරියේ පුපුරන ද්‍රව්‍ය තැන්පත් කර තිබුණේ අතිවිශේෂ ස්කෑනර් යන්ත්‍රයකට මිස සාමාන්‍ය පරීක්ෂණයකදී හසුනොවන සූක්ෂ්ම ආකාරයට බැවින් මේ එක් ගමනකදීවත් පුංචි හෝ සැකයක් මේ ලොරිය පිළිබඳව ආරක්ෂක අංශ වෙත ඇති වී තිබුණේ නැත.

ඒ සමඟම කනගරත්නම් ඔහුට ලබා දී ඇති ඉලක්කය කීවේය. එය ගත්තා නම් රටම ඉවරය. ඉලක්කය කොළඹදී ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් රැස්වන ආරක්ෂක මණ්ඩල රැස්වීමක්ය. බෝම්බ ලොරිය පුපුරා යන ස්විචය සම්බන්ධ කර තිබුණේ වාහනයේ වයිෆරයටය.

කනගරත්නම් රැකවල් පිට රඳවා තැබූ බුද්ධි නිලධාරීහු පඩික්කන් වෙරළ තීරයට ගියහ. මුලින්ම මඟ දෙපස පිරිස් ඉවත් කෙරිණි. අනතුරුව පුපුරා ගියහොත් තමන්ගේ රෝම කූපයක දෙයක් සොයා ගත නොහැකි තරම් වන බිහිසුණු බෝම්බ ලොරියට බුද්ධි සාමාජිකයෝ දෙදෙනෙක් ගොඩවූහ. ලොරිය පණ ගන්වා ත්‍රිකුණාමලය නාවික කඳවුරේ ජනශූන්‍ය කලාපය වන වෙඩි පිටියට රැගෙන ගියහ.

අනතුරුව මෙහි සැබෑ ලෙසම බෝම්බ සවි කර ඇත්දැයි සොයා ගැනීමට කළ කිසිම බාහිර නිරීක්ෂණයකින් ඒ බවට වන කිසිම සාධකයක් සොයාගත නොහැකි විය. ලොරියේ ෆ්‍රීසරය සහිත කොටසේ යකඩ බිත්තියට යකඩ ඉන්නක් යොදා එහි තහඩුව විවර කිරීමට ඔවුන් කටයුතු කළේ ඉන් අනතුරුවය. ඒ බිහිසුණු දැකුම දුටුවේ එවිටය. අධිශීතකරණය සහිත පසුපස කොටසේ බිත්තියම ආවරණය වන ආකාරයට අධි බලැති පුපුරන ද්‍රව්‍ය තැන්පත්කරය.

සියලු තොරතුරු නිශ්චිතය. අධිබල පුපුරන ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට පත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා නාවික හමුදාව හරහා ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත භාර දුන්නේය. පුපුරන ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ වාර්තාව නිකුත් වන්නේ ඉන් අනතුරුවය. ලොරියේ තැන්පත් කර තිබුණේ සී- 4 ලෙස හැඳින්වෙන අධිබල පුපුරන ද්‍රව්‍යය ප්‍රමාණයක්ය. එහි මුළු බර කිලෝ 1080 ක් බව වාර්තා වුණේය. ලංකාවේදී පුපුරුවා හැරීමට සැලසුම් කළ විශාලම බෝම්බ ලොරිය මෙය බව තහවුරු විණි. මෙම බෝම්බ ලොරියේ විනාශකාරී බලය ගැන පැහැදිලි කළ විශේෂඥ වාර්තාවට අනුව එය පුපුරා ගියේනම් වර්ග කිලෝමීටරයක ප්‍රමාණය මුළුමනින්ම සුන්වන බව දක්වා තිබිණි.

කනගරත්නම් ජීවරත්නම් අධිකරණයට ඉදිරිපත් කරන්නේ මේ සියලු සාක්ෂි සමඟය. එහෙත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ පුපුරන ද්‍රව්‍ය සාම්පලය ඉදිරිපත් කර තිබූ ආකාරයේ තාක්ෂණික වැරැද්දක් හේතුවෙන් කනගරත්නම් ජීවරත්නම් නම් මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කොටි සැකකරුවා මුලින්ම දේශපාලන සැකකරුවකු විය. පසුව නි‍ෙදාස් වී නිදහස් විය.

දෛවය පුදුමාකාරය. මේ මොහොත වනවිට එම බෝම්බ ලොරිය සහිත ත්‍රස්තවාදියා අත්අඩංගුවට ගැනීම ඇතුළු නාවික හමුදාවේ විශිෂ්ටම බුද්ධි ක්‍රියාන්විතය කළ කපිතාන් සුමිත් රණසිංහ ඇපත් නැතිව හිරේය. අත්අඩංගුවට ගැනීමට එල්ලවන චෝදනාව 11 දෙනෙක් පැහැරගෙන ගොස් කප්පම් ගෙන අතුරුදන් කිරීමය. අධිකරණයේ නඩුව ඇසෙමින් ඇත්තේය. මේ වනවිට ඔහු පුද්ගලයන් පැහැර ගැනීමේ චෝදනාවෙන් නිදහස්ය. කප්පම් ගැනීමේ චෝදනාවෙන් නිදහස්ය. මේ අතර රහස් පොලිසිය මේ නඩුව ඉදිරියට ගෙනයන්නට සැරසෙන ආකාරය පිළිබඳ වන අතාර්කික ස්වරූපය සම්බන්ධව නීතිවේදීන් පිරිසක් නෛතික සාධක පදනම් කරගෙන අධිකරණයට ලිඛිත කරුණු දැක්වීමක් කර තිබෙන්නේය.

නීතිය නවන්නට හැකි බව කීවේ රටේ පොලිස්පතිය. එහෙත් එය ඕනෑවට වඩා නවන්නට යෑම බිහිසුණුය. එවිට කැඩී යන්නේ නීතිය නොව පිහිටක් නැති අසරණ මිනිසුන් පිරිසක් සහිත රටක එකම සමාජ අපේක්ෂාව වන ගරු අධිකරණය පිළිබඳ විශ්වාසය ය. ගෞරවය ය. එම ගෞරවය හා විශ්වාසය බිඳුණු මොහොත මේ රටේ මිනිසුන්ට සියල්ල අහිමිවන මොහොතය.

ආලාපාළු ආර්ථිකය

SAKKIYA-LOGO-copy

හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මෙන්ම විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යවරයා වන පාඨලී චම්පික රණවක පසුගිය සදුදා (15) පොතක් එළිදැක්වූයේය. පොත එළිදැක්වීම සදහා කොළඹ උත්සව ශාලාවක් සම්මන්ත්‍රණ ශාලාවක් තබා ප්‍රජා ශාලාවක තරමක ආවරණයක් ඉතිරි නොකර ආණ්ඩුවේ ඇත්තන් විසින් වෙන් කරගෙන තිබූ හෙයින් එළිදැක්වීම පවත්වන්නට යෙදුනේ පිටකෝට්ටේ සෝලියස් හෝටලයේ මංගල උත්සව පවත්වන ශාලාවකය.
පොතේ නම ආලාපාළු ආර්ථිකය ය.
ආලාපාළු ආර්ථිකය ගැන මේ පොත ලියන්නේ ජනාධිපති රාජපක්ෂගේ හිටපු කැබිනට් ඇමතිවරයෙකි. සංඛ්‍යාලේඛණ සහිතව මේ කෘතියේ සාකච්ඡා කෙරෙන වැදගත් කරුණු කීපයක් සංක්ෂිප්ත විමසීමකට ලක් කිරීම මේ මොහොතේ දී වැදගත් වන්නේ ජාතියක් ලෙස අප නිර්දය ලෙස රවටමින් හා රැවටෙමින් ඇති බිහිසුණු ආකාරය ඉන් හෙළි කෙරෙන නිසාය.

අනෙක් අතට මේ සංවාදය වැදගත් වන්නේ ජාතියේ දරුවන් වෙනුවෙන් යුතුකම් ඉෂ්ටකර අනාගත පරම්පරාව ගොඩදැමීමේ අභාලාෂය සහිතව ජනාධිපති රාජපක්ෂ දොරක් දොරක් පාසා යමින් ස්වකීය ඡන්දය ඉල්ලා සිටින නිසාය.
ණය සැගවීම

රටක සංවර්ධන හෝ සුබසාධන ව්‍යාපෘති සදහා ණය ගැනීමත් පොදු ජනයා විසින් ඒ ණය ගෙවා දැමීමත් රාජ්‍යයේත් ජනතාවගේ වගකීමකි. එබැවින් රාජ්‍යයක් ණය ගැනීම අපරාධයක් නොවේ. අපරාධය වන්නේ රටක් වෙනුවෙන් ලබාගත් රාජ්‍ය ණය නිසිආකාරව කළමණාකරණය නොකිරීමය. සංඛ්‍යා ලේඛණ නිර්දය ලෙස වෙනස් කර රටේ ආර්ථික දර්ශක වෙනස් කරමින් රටේ බදු ගෙවන මිනිසුන් වංචා කිරීමය. එම වෙනස් කළ ආර්ථික දත්ත ලෝකයට පෙන්වමින් යළි යළිත් ණය ගැනීමය. මේ කියන්නේ ජාතියක් ලෝකය ඉදිරියේ වංචා කරයන් කර, හොරුන් කර අවසානයේ බංකොලොත් හිගන්නන් බවට පත් කරනු ලැබූ අපරාධයේ කතාවය.

ලංකාවේ මූල්‍ය අණ පනත් අනුව රාජ්‍ය ණය ලෙස හැදින්වෙන්නේ මුදල් අමාත්‍යාශය විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුවලට දේශීය හෝ විදේශීය මූලයන්ගෙන් ලබා ගන්නා ණය පමණය. ඒ අනුව රාජ්‍ය බැංකු, සංස්ථා, මණ්ඩල වල ණයගැති භාවය අපේ රටේ රාජ්‍ය ණයට ගණනය වන්නේ නැත.

වර්ෂ 2013 මහබැංකු වාර්තාව අනුව රටේ නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6793 ක් විය.

2013 දෙසැම්බර් වනවිට ඛණිජතෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 227 ක් ණය වී තිබිණි. එය සංස්ථාවක ණයකි. ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 44.5 ක් ණය වී තිබිණි. එය මණ්ඩලයක ණයකි. ඒ නිසා ඒ රුපියල් බිලියන 271.5 මුදල රාජ්‍ය ණයට ගණනය වූයේ නැත. ආණ්ඩුව දිගටම කරගෙන යමින් සිටියේ විවිධ ව්‍යාපෘති සදහා ලබාගන්නා ණය ආණ්ඩුවට අයත් සමාගම් හෝ මණ්ඩල වෙත බැර කිරීමය. එවිට ඒ ණය මුදල් රාජ්‍ය ණය යටතට ගණනය නොවුනේය. එහෙත් රාජ්‍ය ණයෙන් සැගවූ ඒ ණය මුදල් සදහා ආණ්ඩුව රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ණය පොලී ගෙවුවේය.

උදා හරණ ලෙස  පුත්තලම ගල් අගුරු බලාගාරය හදන්නට ලබාගත් රුපියල් බිලියන 180 ක මුදල ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලංකා ගල් අගුරු සමාගම යටතට පත් කෙරිනි.  කෙරවලපිටිය යුගදනවි බලාගාරයට වෙනුවෙන් ගත් රුපියල් බිලියන 43 ක ණය මුදල ආණ්ඩුවේ වෙස්ට් කෝස්ට් නැමැති සමාගමට බැර කෙරිනි.  එහෙත් මේ ණය මුදල් සදහා පොලිය ගෙවනු ලබන්නේ ලංකා විදුලිබල මණ්ඩලයය. මේ රාජ්‍ය ණය අඩු කරන ආකාරය අප විශ්මයට පත් කරවන්නේය. තෙල් සංස්ථාවෙන්, රාජ්ය බැංකු වලින් හා ලංකා විදුලිබල මණ්ඩලයට මාරු කිරීමෙන් පමණක  මේ ආකාරයෙන් සගවා ලූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 845 කි. එය දල දේශීය නිශ්පාදනයෙන් සියයට 10 කි.

වියදම් සැගවීම

1.ණය සැගවීම
පසුගිය 2013 අයවැයේදී  ආණ්ඩුව රටේ සත්‍ය වියදම් හංගා තිබුණේය. රුපියල් බිලියන 462 ක් වූ 2013 වසරේ වාර්ෂික ණය පොලිය පෙන්වා තිබුණේ රුපියල් බිලියන 441 ලෙසය. රුපියල් බිලියන 700 ක් වූ ණය වාරිකය පෙන්වා තිබුණේ රුපියල් බිලියන 589 ක් ලෙසය. සමස්ථයක් ලෙස රුපියල් බිලියන 1139 ක් වූ මුළු ණය මුදල දක්වා තිබුණේ රුපියල් බිලියන 1030 ක් ලෙසය. මේ අනුව අයවැය ලේඛණයේදී සැබෑ ණයෙන් රුපියල් බිලියන 271.2 සගවා තිබුණේය. සැබෑ ණය ගැනීමේ අවශ්‍යතාවයෙන් රුපියල් බිලියන 23.2 ක් සගවා තිබුණේය.

2. ආදායම සැගවීම
2013 අයවැයෙන් ඉදිරිපත්කළ සංඛ්‍ය ලේඛණ අනුව ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 1469 වූයේය. එහෙත් සබෑ ආදායම වූයේ රුපියල් බිලියන 1139 කි. සංඛ්‍යා ලේඛණ වලින්  වැඩිකර පෙන්වූ ආදායම රුපියල් බිලියන 330 කි.
මේ අනුව සැබෑ ආදායම පෙන්වා තිබුණේ සියයට 22 කින් වැඩිකොටය. ඒ සමග ණය බර සියයට 13 කින් අඩු කොටය. මේ අනුව සැකසෙන අ‍ාර්ථික දර්ශක අනුව රට තිබෙන්නේ සංවර්ධනයේ හිණි පෙත්තටත් වඩා ටිකක් ඉහළින්ය. රටේ ජනාධිපති මුදල් ඇමතිවරයා සපාරාධී ලෙස විකෘති කළ ආර්ථික සංඛ්‍යාලේඛණ ස්වකීය අයවැයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කළ නින්දා සහගත වංචාව අවසානයේදී ඔහුගේම කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරයෙක් පොතක් ප්‍රකාශයට පත්කරමින් රටට කීවේය. එය රටට වඩාත් වැදගත් වන්නේ ඒ නිසාය.

ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් රටේ ජාතික ආර්ථිකයේ නිල ප්‍රකාශනයන් සම්බන්ධ කටයුතු වලදී මේ ආකාරයේ සදාචාර විරෝධී ආර්ථික කුපාඩිකම් කර තිබුණේ නැත. මේ රටේ පාර්ලිමේන්තුව ඉදිරියේ අයවැය ලෙස සම්මත කරගෙන ඇත්තේ ලෝකයත් රටත් ගොනාට අන්දා සැකසූ ව්‍යාජ ලියවිල්ලක් බව වැටහෙන විට මේ රටේ මිනිස්සු තිගැස්සෙන්නේය. තත්වය මෙයනම් තවදුරටත් මහජන මුදල් වියදම් කරමින් මේ රටේ පාර්ලිමේන්තුවක් පවත්වාගැනීමේ අර්ථයක් නැත. මෙවැනි තුප්පහිකම් රටක පාර්ලිමේන්තුවේ නොව ගමක සිල්ලරකඩයකවත් සිදු නොවීමට ප්‍රාර්ථනා කළ යුතුව ඇත්තේය. අප දකින්නේ යුද්දය දිනා දුන්නාට රාජපක්ෂ ආණ්ඩුව රටෙන් ඉල්ලන කලගුණ සැලකීමේ වන්දියෙහි ප්‍රමාණය ආරම්භක අවස්ථාවේදීම සදාචාරයේ සීමාවන් ඉක්මවා ගොස් ඇති ආකාරයය.
ඇත්ත කතාව
මේ මොහොත වනවිට රාජ්‍ය ණය බර දේශීය නිශ්පාදන ආදායම ඉක්මවා ගොස් තිබේ. රටේ මුළු ණය ගෙවන්නට ආදායම මදිය. වඩාත් පැහැදිලි කළහොත් රට බංකොළොත්ය.

වර්ෂ 2013 දී ණය ගෙවීම සදහා පමණක් රුපියල් බිලියන 1 162 ක් වැය විය. ණය සදහා පොලිය සියයට 6.8 වූයේය. රුපියල් බිලියන 462 ක පොළියක් ගෙව්වේය. එහෙත් 2013 වසරේ ආණ්ඩුවේ ආදායම වූයේ රුපියල් බිලියන 1139 කි. ණය ගෙවනන්ට ආදායමත් මදි විය. මේ නල්ලමලේ සංවර්ධනයේ ප්‍රතිපල රටේ මිනිසුන්ට නොලැබීමේ ඇත්ත කතාව මෙයය.

රටේ සියලුම වරායන්ගෙන් ලැබෙනා වාර්ෂි ලාභය රුපියල් මිලියන 2400 කි. එහෙත් හම්බන්තොට වරායේ මුල් අදියර සදහා ගත් ණය වලට පමණක් වාර්ෂිකව රුපියල් මිලියන 4054 ක් ණය හා පොලිය ලෙස ගෙවිය යුතුය.

මත්තල ගුවන්තොටුපලේ වාර්ෂික මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 2000 කි. ගෙවිය යුතු ණයත් සමග ඒ අලාභය රුපියල් මිලියන 4000 කි. ශ්‍රී ලංකන් ගුවන් සේවය 2012 වසරේදී පමණක් ලද මෙහෙයුම් අලාභය මිලියන 27000 කි. මිහින්ලංකා ගුවන් සමාගමේ 2013 වසරේ වාර්ෂික ශුද්ධ පාඩුව රුපියල් මිලියන 1500 කි. ණය ආධාර යටතේ ඉදිකළ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අතාර්කික වියදම් ප්‍රමාණය පමණක් රුපියල් මිලියන 42000කි. මේ ආශ්චර්යයේ ප්‍රතිඵල ලැබෙන්න ගත්තා පමණය. ඉතිරිය මතු ඉපදෙන්නට නියමිත පොඩි උන්ටය.

එහි තරම තවදුරටත් කියනවානම් මේ මොහොත වනවිට රාජ්‍ය සේවකයින්ගේ පඩි ගෙවන්නේ සියයට හතකට ගත් විදේශ ණය වලිනි. විශ්‍රාම වැටුප් ගෙවන්නේ ඒ ණය වලිනි. රාජ්‍ය වියදම් පියවා ගන්නේ ඒ ණය වලිනි. අරලියගහ මන්දිරයේ දන්සැල් දෙන්නේත්, හතරමහා නිධානය පහළ වූවාක් සේ මුදල්ද කෑම බීමද  යාන වාහනද බෙදමින් දොරක් පාසා ඇවිදින්නේත් සියයට හතේ පොලියට ගත් ණය වලිනි. ඒ අතර ඇස්තමේන්තුගත වියදමට වඩා සියයට දෙදහස් අසූහයක් වැඩි ලන්සුවක් සහිත චීන කොම්පැණි හරහා බෙලිඅත්තේ කෝච්චි පාරවල් ඉදිවන්නේ සියයට හතේ පොලියට ගත් ණය වලිනි. ඇස්තමේන්තුගත මුදලට වඩා සියයට දෙදහස් හැට දෙකක මුදලකට කඩවත කෙරවලපිටිය අධිවේගී මාර්ගය හැදෙන්නේ ඒ ණය මුදල් වලිනි.
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ට ඡන්දය ලබා දෙන ලෙස මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ ඉන්නා අපටය. අපට කියන්නට ඇත්තේ රටේ දරුවන් ගැන නොව, අඩුම තරමේ නාමල් දරුවා ගැනවත් රාජපක්ෂ ජනාධිපතිවරයා කල්පනා කළානම් රට මේ තරමට නන්නත්තාර වෙන්නේ නැති බවය.

කුඩු වලට ඇබ්බැහි වූ කුඩු කාරයක් කුඩු පැකට් එකක් වෙනුවෙන් හොරකම් කරන්නේය. මිනී මරන්නේය. බොරු කියන්නේය. ගෙදර ඇති සබ්බ සකලමනාවම මතු නොව සුතනඹුවත් විකුණන්නට පෙළඹෙන්නේය. අසීමිත බලයට ඇබ්බැහි වීමත් ඒ හා සමාන ව්‍යසනයක් බව දැන් රට අත්දකිමින් සිටින්නේය. තේරුම්ගතයුතු යථාර්ථය වන්නේ මෙවන් රටක් පිළිබද කුමන්ත්‍රණ  කරන්නට විදේශික බලවේග තුන් හිතකින්වත් හිතන්නේ නැති බවය. මක්නිසාද යත් රටේ ජනාධිපතිවරයා මුලිකවී දියත්කර ඇති මේ සමාජ ආර්ථික හා දේශපාලන ව්‍යසනය වැනි විනාශයක් උපදවන්නට හැකි කුමන්ත්‍රණයක් කිරීමට විමල් වීරවංශලා කියන විජාතික කුමන්ත්‍රණ කාරයින්ට මේ රටේ ආණ්ඩුවෙන්ම ටියුෂන් ගන්නට සිද්දවන නිසාය.

තවත් යමක් වටහාගත යුතුය.උදය ගම්මන්පිල සිය හෘදය සාක්ෂියට එකගව තීන්දුවක් ගෙන ජනාධිතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට ජාතික හෙළ උරුමයේ 17 සමග අලූත් දේශපාලන පක්ෂයක් හදන්නට යන්නේ මේ ඇත්ත දකිමින්ය. දේශපාලන වශයෙන් මීට බොහෝ කලකට එපිට දී මිය ගිය වාසුදේව නානායක්කාරගේ මෘත කලේබරය ආණ්ඩුවේ රැදෙමින්ම ක්‍රමය වෙනස් කිරීම සදහා නැවත සියදිවි නසා ගැනීමට කල්පනා කරන්නේ මේ ඇත්ත දකිමින්ය.

ඛේදවාචකය වන්නේ රට පත්වී ඇති බිහිසුණු ව්‍යසනය මුන් හැමෝම‍හොදිනම දැනගෙන සිටීමය. නාමික පාර්ලිමේන්තුවක ගෙලග්‍රහයෙන් ගත් තමන්ගේ තරම ගැන මේ හැමෝටම තක්සේරුවක් තිබීමය.

ආර්ථික දර්ශක වෙනස් කරමින් අයවැය වංචාකර තමන්ව ගොනාට ඇන්දවූ බව මුළු කැබිනට් එකම දන්නේය. රට බංකොලොත් වී ඇති ප්‍රමාණය සියල්ලන්ම දන්නේය. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලද කැබිනට් තීරණ අරලියගහ මන්දිරයේ ඉස්තෝප්පුවේදී වෙනස් වන ආකාරය දන්නේය. ආණඩුව තුළ තමන් පණ්ඩකයින් වී ඇති ආකාරය ගැන බොහෝ දෙනෙකුට ස්වයං විවේචනයක් තිබෙන්නේය.
තමන්ගේ චිතක ආණ්ඩුවේ ඇමතිකම් වලින් සකසාගෙන ඒවා කවුරුන් හෝ ගිනි තියනා තෙක් බලා ඉන්නා ඩියු ගුණසේකරලා, තිස්ස විතාරණලා වැනි අසරණයින්ට මෙවැනි තීරණාත්මක මොහොතක කරන්නට දෙයක් නැතිවීම වටහා ගන්නට හැකිය. උසාවි වල සිය වත්කම් කියවාගත් අලූත්ගමගේලාටත්, කෝටි ගණන් අතාර්කික වත්කම් විමසන විට නයි කන අබේගුණවර්ධනලාටත් මේ කුණුකන්දේම දියවී යනවා හැර කරන්නට දෙයක් නැති බවත් තේරුම් ගත හැකිය. එහෙත් මේ රටේ ආත්මගෞරවයක් සහිතව දේශපාලනය කල බව රට විශ්වාස කළ ආණ්ඩුවේ දේශපාලකයන්ගේ මිය ගිය හෘදය සාක්ෂිය ගැන රට කම්පා වන්නේය.
අපට දුක මොවුන් කිසිවෙකුට ඉතිහාසයෙන් සමාවක් ලැබෙන්නේ නැතිවීම ගැනය.

ජානක ලියනආරච්චි

10007273_664830576906525_1704332362_o

කුඩු පිළිබ`දව කතා ඇසෙන්නේ අලුත් වෙමිනි. අලුත් කුඩු කතාව මාධ්‍ය ඔස්‌සේ වාර්තා කළ ආකාරය යළිත් රට තිගැස්‌වීය. මෙවර කුඩුත් සමග හසුවන්නේ හමුදා නිලධාරියෙකි. හතළිස්‌ වියෑති ලුතිනන් කර්නල්වරයෙකි. ගජබා රෙජිමේන්තුවේ වව්නියාව පම්පෙමඩුව හමුදා ක`දවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේ ඔහුය. පසුගිය 22 දා අනුරාධපුර මැදවච්චිය පරසන්ගස්‌වැව හන්දියේදී හෙතෙම හෙරොයින් ග්‍රෑම් තුනක්‌ සමග පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේය.

වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.

වව්නියාව පම්පෙමඩුව හමුදා ක`දවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරනු ලැබුවේ නිරෝෂ් රුවන් රයිගම නොහොත් රන්දුණුගේ නිරෝෂ් රුවන් සිරිසේන නැමැති ලුතිනන් කර්නල්වරයෙකි. පදිංචිව සිටියේ මහරගමය. හේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ආදි ශිෂ්‍යයෙකි. හතළිස්‌ හැවිරිදිය. විවාහකය. දරුවන් නැත.

හේ හමුදා සේවයට සම්බන්ධ වන්නේ 1993 වසරේය. ඒ දෙවන ලුතිනන්වරයෙක්‌ ලෙසිනි. යුද්ධය පැවති සමයේ ක්‍රියාකාරි වැඩකොටසක්‌ කළ මේ නිලධාරියා සම්බන්ධව යුද්ධයෙන් අනතුරු වකවානුවේ ඇසුණු කතා එතරම්ම ප්‍රසන්න ඒවා නොවීය. හේ කලක සිට මත්කුඩු වලට ඇබ්බැහි වූවෙකු බවට වන චෝදනා විටින් විට නැගෙන්න වන්නට විය.

මේ පිළිබ`ද තොරතුරු හමුදාව තුළින්ම ඇසෙමින් තිබිණි. ඒ සම්බන්ධව උතුරුමැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පද්මසිරිටත් තොරතුරු ලැබී තිබිණි. ඔහුගේ මෙහෙයවීම යටතේ මෙම ලුතිනන් කර්නල්වරයා ගැන විශේෂ විමර්ශන කණ්‌ඩායමක්‌ යොදවා තොරතුරු ලබා ගන්නට නියෝජ්‍ය පොලිස්‌පතිවරයා කටයුතු කළේය. එම විමර්ශන කණ්‌ඩායම මෙහෙයවනු ලැබුවේ පොලිස්‌ පරීක්‌ෂකවරයෙක්‌ විසිනි.

22 දා සිද්ධිය

මෙම ලුතිනන් කර්නල් වරයා මත්කුඩු සපයාගෙන තිබුණේ කුරුණෑගල පැත්තේ හෙරොයින් ජාවාරම් කාර මුස්‌ලිම් ජාතිකයෙකුගෙනි. හේ අස්‌ලාම් නැමැත්තෙකි. ලුතිනන් කර්නල් තැන තමන්ට ඇවැසි මත්කුඩු ප්‍රමාණය ඇණවුම් කළ විට පහසු තැනකට එය ප්‍රවාහනය කර දීමට අස්‌ලාම් කටයුතු කළේය. මීට පෙර විටින් විට මේ කුඩු ඇණවුම් ලබාදීම ගැනුම්කාර හමුදා නිලධාරියාගේ අවශ්‍යතාවය පරිදි අස්‌ලාම් විසින් සිදුකර තිබුණේය.

22 දා අස්‌ලාම් විසින් එවැනි කුඩු ඇණවුමක්‌ රැගෙන එන බව පොලිසියට වාර්තා වී තිබිණි. ජාවාරම්කාර අස්‌ලාම් ගැනුම්කාර හමුදා නිලධාරියා අමතා කුඩු ටික ලබා ගැනීම ස`දහා පරසන්ගස්‌වැව හන්දියට එන ලෙස දන්වා එදින උදෑසන කුරුණෑගලින් කොළඹ වව්නියා බසයකට නැග ඇති බව සැලවිනි. මින් පෙරදීත් අනුරාධපුරයට එන අස්‌ලාම් නියමිත ස්‌ථානය කරා කුඩු ප්‍රවාහනය කරවනු ලබන්නේ වෙනත් තැරැව්කරුවෙක්‌ මගිනි. අස්‌ලාම්ගේ ජාවාරමට වව්නියාව නගර සභා නිවාස වල පදිංචි තැරැව්කරුවෙක්‌ සම්බන්ධව සිටියේය. හේ තුවාන් රහීම් රම්ලාන් නැමැත්තෙකි. කුඩු ටික බලාපොරොත්තුවෙන් පරසන්ගස්‌වැව හන්දියේ සිටිනා හමුදා නිලධාරියා වෙත එය රැගෙන යන්නට යොදා ගන්නේ මෙම තැරැව්කරුවාය.

මේ වනවිට ලුතිනන් කර්නල් වරයා කැමා කලිසමකින් හා කළු පැහැති ටී ෂර්ටයකින් සැරසී තම නිල කැබ් රථයෙන් රියදුරුත් සමග පරසන්ගස්‌වැවට පැමිණ සිටියේය. පරසන්ගස්‌වැවට පැමිණි තැරැව්කරු විසින් කුඩු සහිත පාර්සලය හමුදා නිලධාරියාට දෙනවාත් සමගම මෙතෙක්‌ රැක සිටි පොලිස්‌ කණ්‌ඩායම ඔවුන් වටලා අත්අඩංගුවට ගත්තේය.

සැකකාර ලුතින්න කර්නල්වරයා අත්අඩංගුවට පත්වනවිට ඔහුගේ සාක්‌කුවේ පැකට්‌ තුනකට සැකසූ හෙරොයින් ග්‍රෑම් තුනක්‌ තිබිණි. අත්අඩංගුවට පත් තැරැව්කරුවා ල`ග තවත් හෙරොයින් මිලිග්‍රෑම් 450 ක්‌ විය. සැකකාර ලුතිනන් කර්නල්වරයා පසුගිය 23 දා බී වාර්තා අංක 614/2014 යටතේ අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මාර්තු 6 දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කළේය. තුවාන් රහීම් රම්ලාන් 28 දා දක්‌වා රැ`දවුම් නියෝග සහිතව ර`දවාගෙන ප්‍රශ්න කරමින් සිටියේය.

මේ වනවිට හමුදාපතිවරයාගේ නියෝග පරිදි පර්යේෂණ අවසන් වනතෙක්‌ අත්අඩංගුවට පත් ලුතිනන් කර්නල්වරයා හමුදාවේ සියලු තනතුරු වලින් පහ කර දමා තිබේ. ඔහුට එරෙහිව වෙනම පරීක්‌ෂණයක්‌ යුද හමුදාව මට්‌ටමින් පැවැත්වෙමින් ඇත. මේ වනවිට වාර්තා වන තොරතුරු අනුව මේ ලුතිනන් කර්නල්වරයා හෙරොයින් ලබාගෙන ඇත්තේ විකුණන්නට නොවේ. ඔහුගේ අවශ්‍යතාවයටය. හෙතෙම කලෙක සිට මත්කුඩු වලට ඇබ්බැහිව සිටි බව හෙළි වී තිබේ. මත්කුඩු රැගෙන ආ තැරැව්කරුවා එම මත්කුඩු රැගෙන ගොස්‌ ඇත්තේ ඔහුට ග්‍රෑම් එකක්‌ ප්‍රවාහනය ස`දහා ලැබෙන රුපියල් දහස නිසාය. එහෙත් ලංකාවේ නීතිය අනුව හෙරොයින් ග්‍රෑම් 2 ට වඩා ළඟ තබාගෙන සිටීම මරණීය දණ්‌ඩනය හිමිවිය යුතු තරමේ වරදක්‌ වන්නේය. මේ දෙපළම දැන් දංගෙඩිය ඉදිරියේය.

එහෙත් අප කතා නොකරන කතාවක්‌ ඇත්තේය. මේ සිද්ධිය කම්පනයක්‌ සහිතව වාර්තා වන්නේ හෙරොයින් සමග අත්අඩංගුවට ගන්නේ හමුදා නිලධාරියෙක්‌ වීම නිසාය. ඔහු මත්කුඩු ග්‍රෑම් 3 ක්‌ සමග අත්අඩංගුවට පත්වන නිසාය. එහෙත් හෙරොයින් සුළු ප්‍රමාණයක්‌ සමග අත්අඩංගුවට පත්වූ හමුදා අයවලුන් දෙතුන්දෙනෙක්‌වත් සතියකට වරක්‌ අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත පොලිසිය විසින් ඉදිරිපත් කරන්නේය. ඔවුන් එකෙක්‌වත් කුඩු විකුණන්නන් නොවේ. කුඩු වලට ඇබ්බැහි වූවන්ය. තත්වය මෙයනම් මේ කියෑවෙන්නේ මහා ෙ€දවාචකය පසුබිම් කථාවය.

රණවිරු රියල් ස්‌ටාර්ලා ප්‍රසංග වේදිකා මත හමුවන්නේ නැත. ඔවුන් බොහෝමයක්‌ යුද්ධයෙන් මිය ගොස්‌ය. ජීවත්ව සිටින තවත් උන් මහා මානසික කම්පනයන් තුළ කැළඹෙමින් සිටින්නෝය. මත්ද්‍රව්‍ය ඇබ්බැහිය හා බැ`දුණු මානසික පසුබිම මේ බි`දවැටීම් වල ප්‍රතිඵල නොවත්දැයි විමසීම උත්කර්ෂවත් ර`ගමඬලක රියල් ස්‌ටාර්ලා සොයනවාට වඩා ඵලදායී නොවන්නේදැයි විමසිය යුතුය.

මත්කුඩු ල`ගතබා ගැනීම හමුදා නිල ඇ`දුමක්‌ දරන නිලධාරියෙක්‌ මතු නොව අමුඩයක්‌ පිටින් හසුවන ගස්‌ නගින කුලීකාරයෙකුටවත් නොහොබිනා නින්දිත අපරාධයක්‌ බව සැබෑය. එහෙත් මේ සමග කියවිය යුතු තවත් කතාවක්‌ තිබේ. මරණ ද`ඩුවමට පවා කැපවීමට නියමිත ලුතිනන් කර්නල් නිරෝෂ රුවන් සිරිසේන ල`ග තිබුණේ තමන්ට දුමක්‌ අල්ලා ගැනීමට අවශ්‍ය කුඩු ග්‍රෑම් තුනකි. එහෙත් අප ජීවත් වන්නේ කුඩු කිලෝග්‍රෑම් 240 ක්‌ සමග උඩප්පුවේදී අත්අඩංගුවට පත්වන්නට තිබූ ජීප් රථයක්‌ නඩුත් නැතිව පලාගිය රටකය. ඒ මෙහෙයුම දියත් කළ පොලිස්‌ නිලධාරීන් හතරවරං ගස්‌සවා හීලෑ කළ රටකය.

පසුගියදා මේ රටේ හසුවූ විශාලම කුඩු තොගය රේගු අත්අඩංගුවට පත් වූ බව කියෑවෙනවිට ඒ සමග රටේ අගමැතිවරයාගේ නමත් ඇසුණේය. ඉන් පසු යුරෝපයට කුඩු ප්‍රවාහනය කරන මධ්‍යස්‌ථානයක්‌ බවට ලංකාව පත්වී ඇති ආකාරය කියෑවෙන ජාවාරම් කීපයක්‌ හෙළිවුණේය. මෑත ඉතිහාසයේ කුඩු සමාජගත වීම ගැන කතාව මෙපමණම පුළුල් පරාසයක පැතිරුණේ මේ වකවානුවේය. එහෙත් මේ කිසිම ජාවාරමක මුදුන් මුල් ගැලවුනේ නැත. එය මේ සමාජයටත් ගැටලුවක්‌ වු බව පෙනෙන්නට තිබුණේ නැත.

මත්කුඩු ව්‍යාපාරයේ යෙදෙන බව එළිපිටම ප්‍රදර්ශනය කළ සමහර කාලකණ්‌ණින් මේ වනවිට බලය සහිතව දේශපාලන කරලියෙ කරණම් ගසන්නේය. මේ රටේ මහාපරිමාණ කුඩු ජාවාරම් කරන ප්‍රධාන අපරාධ කරුවන් එකෙක්‌වත් නීතියට කොටු වන්නේවත්, අධිකරණය ඉදිරියට ගෙනෙන්නේවත් නැතිව රැකෙන්නේය. ද`ඩුවම් වි`දින්නේත් මරණ ද`ඩුවමට ලක්‌කර තුරන් කරන්නට හදන්නේත් ඒ ජාවාරම් කරුවන් විසින් බිහිකළ කුඩු සමාජයේ පර`ඩැල් වැනි මිනිසුන්ය.

අප තේරුම්ගත යුත්තේ යුද හමුදාවේ තරුණ ලුතිනන් කර්නල්වරුන්, මේජර්වරුන් මෙන්ම සොල්දාදුවන් ද කුඩු පොවන ලද තරුණයන් සහිත සමාජයක නියෝජනයන් බවය. මේ දකින්නේ මහා සමාජ ව්‍යසනයක එක්‌ ප්‍රකාශනයක්‌ බවය.

එහෙත් කුඩු ගසන ලුතිනන් කර්නල්වරුන් හමුවූ විට ඒ කුඩුකාරයාට ගල් ගසන්නට හදන සමාජය ගල් පෙරලා චප්ප කළ යුතු පිළිල අපේ ඇස්‌ ඉදිරිපිට සමාජ සුරුවම්කොට වැළ`ද ගන්නේය. එවිට අපට හිතෙන්නේ සමාජයම කුඩු ගසා ඇති බවය.

ජානක ලියනආරච්චි

 

 

උතුරේ ජීවත්වන්නේ ඉන්දියාවේ මිනිසුන් නොවේ. මේ රටේ මිනිස්‌සුන්ය. මේ රටේ සමාජ සංස්‌කෘතික අනන්‍යතාවයේ වර්ණය ප්‍රකට කළ මිනිස්‌සුන්ය. යුද්ධයෙන් සහමුලින්ම වැනසී ගියේ මේ මිනිස්‌සුන්ගේ ජීවිතය. උතුරේ කිළිනොච්චියේත් මුලතිව්වලත් කිසිවෙක්‌ නොමළ නිවසක්‌ නොවීය. කාන්තාවෝ පනස්‌ නව දහසක්‌ යුද්ධය නිසා අසරණව උන්හ. ඔවුන්ට රැකවරණය සැපයූ පිරිමි එක්‌කෝ මියගොස්‌ සිටියහ. නොඑසේනම් කිසිදු සාධකයක්‌ නොතබා අතුරුදන්ව උන්හ. නැතිනම් නිදහසක්‌ නැති රැඳවියන් සේ රැඳවුම් කඳවුරුවල සිටියහ. මේ පවුල් විතැන් වී තිබිණි.

**************************************************************************

උගත් පාඩම් හා ප්‍රතිසංවිධානය පිළිබඳ ජනාධිපති කොමිසම මගින් ප්‍රකාශිත වාර්තාව මෑත කාලීන සමාජ හා දේශපාලනික ක්‌ෂේත්‍රයේ තීරණාත්මක කතිකාවක්‌ ඇති කළ මාතෘකාවකි. කොමිසම පත් කරන්නේ රටේ ජනාධිපතිවරයාය. ඒ 2010 මැයි මාසයේදීය. කොමිසමේ සාමාජිකයින් වන්නේ රටේ කීර්තිමත් ප්‍රාමාණික බුද්ධිමතුන් පිරිසකි. මෙම කොමිසම පත්කිරීමේ අරමුණ වූයේ පසුගිය තීරණාත්මක යුද්ධයේදී රටේ ආරක්‌ෂක හමුදාවේ ක්‍රියාපටිපාටිය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව විසින් නගනු ලැබූ චෝදනාවලට ජාතියක්‌ වශයෙන් ලෝකයට පිළිතුරු සැපයීමය.

එදා සිට අද දක්‌වා රටේ දේශපාලනය මේ වාර්තාව පිළිබඳ කතා කරමින් හිදී. වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජාතික ක්‍රියාකාරී සැලසුම් කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ඒකමතිකව ලබාගැනීමෙන් අනතුරුව එළිදක්‌වයි. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශ මට්‌ටමින් කාල රාමු නිර්නය කරගෙන ඇති බව කියයි. කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළහැකි ආකාරය ගැන කියන්නට “එපොයින්මන්ට්‌ දමාගෙන” ජාත්‍යන්තර ප්‍රජාව හමුවෙයි. රජයට අනුව මේ වනවිට මේ කොමිසමේ නිර්දේශ වලින් සියයට පනහකටත් අධික ප්‍රමාණයක්‌ දැනටමත් ක්‍රියාත්මක කර තිබේ. එහෙත් රටටත් මේ රටේ ජීවත් වන මිනිසුන්ටත් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, යහ පාලනය පිළිබඳ සංකල්පය ස්‌ථාපිත කිරීම, මිනිසුන් ලෙස අවම මානුෂීය වටිනාකම් සහිතව හෝ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම නිර්දේශ කරනු ලබන මෙම කොමිෂන් සභා වාර්තාව මේ මොහොත වනවිටත් සිංහල හෝ දෙමළ පාඨකයාට ආගන්තුකය.

ඒ අත්‍යවශ්‍ය සමාජ දැනුවත්භාවය යම් ආකාරයකට වළකමින් තිබුණේදැයි සිතන්නට පොළඹවන වටපිටාවක වාර්තාවේ සිංහල හා දෙමළ පරිවර්තනයක්‌ මහබැංකුව මගින් පරිවර්තනය කර ඇති බව කියෑවිණි. එහි මුල් පිටපත් පසුගිය 16 දා විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස්‌ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වෙත විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පිළිගැන්වීම මාධ්‍ය මගින් ඡායාරූප සහිතව වාර්තා කළේය.

එහෙත් එහි මුද්‍රිත පිටපතක්‌ ලබාගත හැකි තැනක්‌ හෝ අන්තර්ජාලයට මුදාහැරීමක්‌ පිළිබඳ මේ වනතුරුත් තොරතුරක්‌ නැත. මහ බැංකුව පවසන්නේ තමන් කළ පරිවර්තන කාර්යයේ පරිගණක පිටපතක්‌ අමාත්‍යවරයාට ලබාදුන් බවය. අවශ්‍ය විට එළියට රැගෙන මතක්‌ කර යළිත් අමතකර දමන මේ කොමිෂන් සභාව කුමක්‌ද? එහි නිර්දේශන්හි හරය කුමක්‌ද? එය මේ රටේ සාමාන්‍ය මිනිස්‌සුන්ට වැදගත් වන්නේ කෙසේද? එම වාර්තාව සාමාන්‍ය මිනිසුන් අතරට යෑවීමට ඇති දේශපාලන මැළිකම කුමක්‌ද යන්න යම් පමණකට විමසීම මෙම කෙටි ලිපියේ පරමාර්ථ වේ. ඊට පෙර මෙම කොමිෂන් සභාවේ සංයුතිය හා අරමුණු පිළිබඳ යළිත් විමසීමෙන් මේ කතිකාවට ප්‍රවේශය සපයා ගැනීම වටී.

උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිසම

තීරණාත්මක යුද්ධයේ අවසන් මෙහෙයුම නිමා වනවාත් සමග රටේ හමුදාව විසින් ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ සම්මුතීන් උල්ලංඝනය කර යුද අපරාධ කරනු ලැබුවේය යන බරපතළ චෝදනාවත් ඒ පිළිබඳ විමර්ශනය සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමකුත් අවශ්‍යය යන අදහසත් බලපෑමක්‌ ලෙස මතුවී පැමිණියේය. මේ අතර තවත් වැදගත් සාධකයක්‌ ඉස්‌මතු විණි. යුද්ධය නිමාවන්නේ 2009 මැයි මස 19 දාය. යුද්ධයෙන් පසු වසරක්‌ ගතවීමෙන් අනතුරුවත් උතුරේ සිවිල් ජනකොටස්‌ විෂයෙහි ප්‍රායෝගික මානුෂීය විසඳුමක්‌ ලබාදීමට රජය අසමත්ව සිටියේය. වාර්ගික දේශපාලනයේ ස්‌වරූපයත් බලය සහිත වූවන් ක්‍රියාත්මක කළ අමානුෂික කැලෑ නීතියත් සමහර අවස්‌ථාවලදී මේ මානුෂීය වේදනාවන් තීව්‍ර කළේය. මොන ආකාරයකට හෝ උතුරේ ජීවත් වන්නේත් මේ රටේ මිනිසුන් පිරිසක්‌ බවට වන සංවේදන දකුණේ සමාජයෙන් ඈත් වී යමින් තිබිණි. ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කරනු ලබන්නේ එම සියලු පීඩාවන් මගින් ඇතිකරනු ලබන බලපෑම තුරල් කිරීමට ලබාදිය හැකි අවස්‌ථානුකූල පිළිතුරක්‌ වශයෙනි.

කොමිසමේ සභාපතිවරයා වූයේ හිටපු නීතිපතිවරයකු මෙන්ම සොලිස්‌ටර් ජනරාල්වරයකු වූද ජනාධිපති නීතිඥවරයකු වූද සී. ආර්. ද සිල්වාය. සෙසු සාමාජිකයින් ලෙස නීතිඥවරියක වන මනෝ රාමනාදන්, හිටපු භාණ්‌ඩාගාර ලේකම්වරයකු වූ සී. චන්මුගම්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වූ එච්. එම්. ජී. එස්‌ පලිහක්‌කාර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති උපදේශකයකු ලෙස සේවය කළ රොහාන් පෙරේරා, ජාත්‍යන්තර ත්‍රස්‌තවාදය පිළිබඳ නිරීක්‌ෂකයකු හා අපරාධ නීතිය පිළිබඳ විශේෂඥයකු වූ මහාචාර්ය කරුණාරත්න හඟවත්ත, හිටපු මහාධිකරණ විනිසුරුවරයකු වූ මැක්‌ස්‌වෙල් පරණගම, ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වූ එම්. ටී. ඇම් බµsක්‌ හා හිටපු තානාපතිවරයකු වූ එස්‌. බී අතුගොඩ යන විද්වත් පිරිසගෙන් මෙම කමිටුව සමන්විත වූයේය.

වර්ෂ 2002 පෙබරවාරි මස 21 දින අත්සන් කළ සටන් විරාම ගිවිසුම අසාර්ථක වූ හේතුවත්, එතැන් සිට යුද්ධය අවසන් වූ 2009 මැයි මස 19 වැනිදා දක්‌වා වූ සිවිල් සමාජයේ ඇතිවූ ව්‍යසනකාරී යථාර්ථය කොමිසමට වාර්තාවන සිද්ධි ඇසුරින් අධ්‍යයනය කිරීමත්, එවැනි සිද්ධි යළි සිදු නොවීම සඳහා උගතහැකි පාඩම් හා ඒ ඇසුරෙන් ලදහැකි අත්දැකීම් සමාජ ප්‍රතිශෝධනයෙහි ලා යොදාගත හැකි ආකාරය පිළිබඳ විමසීමත් මේ කොමිසමේ කාර්යාවලියේ මූලික පදනම විය. විශේෂයෙන් මානව හිමිකම් කඩවීම් වලට හා ගැටුම්කාරී සිදුවීම් වලට වගකිවයුත්තන් කවුද, එවැනි අමානුෂීය සිදුවීම් වලින් පීඩාවට පත්වූවන්ගේ ජීවිත යථාවත් කළහැකි ආකාරය කුමක්‌ද, එවැනි සිද්ධි යළිත් වාර්තා නොවීම සඳහා සියලු ප්‍රජාවන් සම්බන්ධ කරගෙන කළයුතු සමාජ ප්‍රතිසංස්‌කරණයේ ස්‌වරූපය කුමක්‌ද යන්නත්, උක්‌ත කාරණා සඳහා මෙන්ම ජාතික සමගිය ඇතිකිරීම වෙනුවෙන් ගතයුතු ආයතනික, පරිපාලනමය හා ව්‍යවස්‌ථාමය ක්‍රියාමාර්ග මොනවාද යන කාරණාවලට පිළිතුරු සෙවීමත්, ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අධිකාරි පත්‍රයේ නියමන් යටතේ පරීක්‌ෂණය කරනු ලැබූ කරුණු වලින් කිසියම් කරුණකට අදාළ එබඳු වෙනත් නිර්දේශ ඉදිරිපත් කිරීමත් කොමිසමේ වගකීම වූයේය.

මෙවැනි වගකීමක්‌ සහිතව දේශීය විද්වතුන් පිරිසක්‌ හෙබවූ මෙම කොමිසම මුල්වරට රැස්‌වූයේ 2010 ජූනි මස 11 වෙනිදාය. ඒ කොළඹ 7, හෝර්ටන් පෙදෙසේ අංක 24 දරන ස්‌ථානයේ වූ ලක්‌ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා ක්‍රමෝපාය අධ්‍යයන මධ්‍යස්‌ථානයේදීය. එම වසරේම අගෝස්‌තු මස 11 වැනිදා විමර්ශන කටයුතු ආරම්භ කරන කොමිසම දීර්ඝ හා පුළුල් සාක්‌ෂි විමර්ශනයකින් අනතුරුව එහි වාර්තාව 2011 නොවැම්බර් මස 20 වැනිදා ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය. පසුව එම වාර්තාවේ ප්‍රධාන නිරීක්‌ෂණයන් හා නිර්දේශයන්හි සාරාංශයක්‌ 2011 දෙසැම්බර් මස 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් විණි.

කොමිසමේ නිරීක්‌ෂණ හා නිර්දේශයන්හි හරය

මෙම කොමිෂන් සභා වාර්තාව සැබෑ ලෙසම රට ඒ මොහොතේදී මුහුණදී තිබූ තීරණාත්මක අර්බුදයකට සාධනීය පිළිතුරක්‌ සැපයූ විශිෂ්ට ලේඛනයක්‌ වූයේය. සටන් විරාම ගිවිසුම වකවානුවේ එම ගිවිසුමේ පැවැති දුර්වලතා ප්‍රයෝජනයට ගනිමින් එල්.ටී.ටී.ඊ ය හැසිරුණු මුග්ධ අමානුෂික ස්‌වරූපය, නෝර්වේ රාජ්‍යයේ ජුගුප්සාජනක ද්විත්ව භූමිකාව හා එහි ප්‍රතිඵල ලෙස සටන් විරාම ගිවිසුම බිඳ වැටුණු ආකාරයත් කොමිසම ප්‍රබල ලෙස ඉස්‌මතු කර තිබිණි. එමෙන්ම ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය නොකර සාමාන්‍ය සිවිල් මිනිසුන් ආරක්‌ෂා කරමින් හමුදාව දියත්කළ මානුෂීය මෙහෙයුම ඉන් සහේතුකව සාධනය කළේය. යුද මුක්‌ත කලාපයන්හි එල්.ටී.ටී.ඊ යේ ම්ලේච්ඡ හැසිරීම සිවිල් ජන ජීවිතය විනාශ කළ ආකාරය වාර්තා කළේය. යුද්ධය ආරම්භ කළ අවස්‌ථාවේ සිට එල්.ටී.ටී.ඊ පාලන බල ප්‍රදේශයේ සිටි සිවිල් ජනතාව වෙත අනේක විධ ප්‍රායෝගික දුෂ්කරතා ජය ගනිමින් ආහාර හා අත්‍යවශ්‍ය උපකරණ යෑවූ ආකාරය ප්‍රශංසනීයව අගය කළේය. මේ සියලු නිර්දේශයන් හා නියමන් ප්‍රධාන මාධ්‍ය ප්‍රවාහයන් මගින් වාර්තා වී තිබිණි.

එහෙත් උතුරට පමණක්‌ නොව සමස්‌ත රටටම වැදගත්වන ආකාරයෙන් රටේ ජන ජීවිතය නීතියේ ආධිපත්‍යයට නතු කිරීම, රටේ යහ පාලනය ස්‌ථාපිත කිරීම හා දුර්දාන්ත දේශපාලන හැසිරීම් වලින් හෑල්ලු වී යන රටේ සමස්‌ත සමාජ සම්මුතීන්හි හරය ආරක්‌ෂා කිරීම සඳහා මේ කොමිසමෙන් කර තිබූ නිර්දේශ හා නිගමනයන් පිළිබඳ කිසිවකු කතා කර තිබුණේ නැත. අතුරුදන්වීම් මානව හිමිකම් කඩවීම් බරපතළ දේශපාලනික අපයෝජනයන් සමාජයට කරනු ලබන බලපෑම පිළිබඳ කොමිසම වේදනාත්මකව ලියා තැබූ කරුණු සංවාදයට ලක්‌ කරනු ලැබුවේ නැත. රටේ ජාතික ප්‍රශ්නයට සාධාරණ දේශපාලන විස`දුමක අවශ්‍යතාවය පිළිබඳ කරනු ලැබූ නිර්දේශයන්හි හරාත්මක වටිනාකම විමසුවේ නැත.

උතුරේ ගැටුම් ඇතිවූ ප්‍රදේශවල සිවිල් මිනිසුන්ගේ ජීවිත බොහෝමයක්‌ බිඳවැටී තිබිණි. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, පැහැරගෙන යැම්, අත්තනෝමතික රඳවාගැනීම්, අධිකරණයෙන් බැහැරව නීතිමය පටිපාටියකින් තොරව මරණ දඬුවම පැමිණවීම් පිළිබඳ තොරතුරු මිනිසුන් විසින් සහේතුකව කොමිසම ඉදිරියට රැගෙන ආවේය. ඉතා බරපතළ ලෙස මතුව ආවේ පුද්ගල අතුරුදන්වීම්ය. යා හැකි සෑම තැනකටම ගොස්‌ පැමිණිලි කළද වසර ගණනක්‌ තිස්‌සේ ආගිය අතක්‌ ගැන හෝඩුවාවක්‌වත් නොදන්නා පුද්ගලයින් බොහෝ දෙනකු ගැන ඔවුන්ගේ ඥතීහු පැමිණිලි කළහ. මෙවැනි චෝදනා සම්බන්ධ සිදුවීම් වලට එරෙහිව තීරණාත්මක පියවර ගැනීම ප්‍රතිසංධාන ක්‍රියාවලිය තහවුරු කිරීමත් අතීත සිදුවීම් වලක්‌වනු පිණිස අත්දැකීම් වලින් පාඩම් ඉගනගන්නා බව සහතික කිරීමත් පිණිස අවශ්‍ය බව කොමිසම යළි යළිත් සිහි කළේය.

තවද දේශපාලන මැදිහත්වීම නිසා රටේ අපරාධ පරීක්‌ෂණ යටපත් වන ආකාරයත්, නීතිය බලාත්මක කිරීමට නොහැකි ආකාරයත්, පොලිස්‌ පරිපාලනයට හානිකර බලපෑමක්‌ ඇතිවන ආකාරයත් කොමිසම විසින් පෙන්වා දී තිබිණි. මින් සිද්ධවන්නේ අපරාධ යුක්‌ති පද්ධතිය සම්බන්ධයෙන් ජනතා විශ්වාසය ඛාදනය වීම බව එය අවධාරණයෙන් සඳහන් කළේය. එමෙන්ම කොමිසම විසින් නිරීක්‌ෂණය කළ සමහර නීති විරෝධී සන්නද්ධ කණ්‌ඩායම් යම් යම් ප්‍රදේශවලදී මිනිස්‌සුන්ගේ ජීවත්වීමේ අයිතියත් තමුන් සතුකරගෙන සිටියහ. ඔවුහු පුද්ගලයින් අතුරුදන් කරමින්, මරා දමමින් “නඩු නැතිව” දේශයක්‌ සකස්‌ කරමින් උන්හ. මේ සන්නද්ධ කණ්‌ඩායම් වහාම නිරායුධ කරන ලෙස කොමිසම මගින් ඉදිරිපත් කළ අන්තර්වාර නිර්දේශ පිළිබඳව රජය කිසිම තීරණාත්මක පියවරක්‌ ගෙන නොතිබීම ගැන කොමිසම වාර්තා කරනු ලැබුවේ දැඩි කලකිරීමකිනි.

සමහර සිදුවීම් සිදුවෙමින් පැවති නිර්ලඡ්ජිත ආකාරය කොමිසමද බරපතළ කම්පනයට පත් කළ ආකාරය සටහන් වූයේය. ඉන් ප්‍රධාන සිද්ධියක්‌ වූයේ අදහස්‌ ප්‍රකාශනයේ නිදහස සහ තොරතුරු දැනගැනීම සඳහා පවතින අයිතිය තබා පුවත්පත් කලාවේදීන්ටත් මාධ්‍ය ආයතන වලටත් සිය වෘත්තිය කරගත නොහැකි සේ සිදු කරන තර්ජනය කිරීම්, පහරදීම් හා ඝාතනයන් පිළිබඳව වූ අඛණ්‌ඩ පැමිණිලිවලට සම්බන්ධ චූදිතයන් නීතිය හමුවට නොපැමිණවීමය. තත්ත්වය මෙසේ නම් ප්‍රතිසංධාන ක්‍රියාවලිය කෙසේ වෙතත් රටේ නීතියේ ආධිපත්‍යය ද වැළලෙනු ඇති බව කොමිසම කීවේය. තොරතුරු දැනගැනීමට ඇති අයිතිය හා අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතිය ඕනෑම මනුෂ්‍යයකු සතු අයිතියකි. මේ අයිතිය සීමා කරනු ලබන ඕනෑම ක්‍රියාකාරකමකින් සිදුවනු ඇත්තේ ජනවාර්ගික කණ්‌ඩායම් අතර විශ්වාසය බිඳවැටීම බව ඔවුන් අවධාරණය කර තිබිණි.

නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම කොමිසමේ මූලික නිර්දේශයක්‌ විය. දේශපාලනික අනුග්‍රහය ලබන පුද්ගලයින් විශාල සංඛ්‍යාවක්‌ අපරාධ සිදු කළත් දේශපාලනික බලපෑම් හරහා නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින පුද්ගලයින්ට එල්ලවන පීඩනය නිසා ඔවුන් නීතිය හමුවට පැමිණවීමට නොහැකිකම ගැන කොමිසමට පුද්ගලයින් විශාල සංඛ්‍යාවක්‌ කියා තිබිණි. මේ දේශපාලන බලය සහිත සන්නද්ධ කණ්‌ඩායම් කප්පම් ගැනීම්, පැහැරගෙන යැම්, මිනී මැරීම් සිදුකර යහතින් කල්ගෙවමින් උන්හ. දේශපාලකයින්ද, ඔවුන්ගේ ගෝල බාලයින්ද ප්‍රසිද්ධියේ ගිනි අවි භාවිත කරන ආකාරයත්, ගිනි අවි භාවිතය හා බැඳුණු දේශපාලන ප්‍රචණ්‌ඩත්වය නීතිගරුක සිවිල් පුරවැසියන් බරපතල කම්පනයට පත් කරන ආකාරයත් කොමිසම වාර්තා කළේය.

රාජ්‍ය සේවයේ දී දේශපාලන ඇඟිලි ගැසීම් තීරණාත්මකව වැඩිවීම හේතුවෙන් යහපාලනය පිළිබඳ සංකල්ප පූර්ණ වශයෙන්ම දූෂණය කරනු ලබන ආකාරය කොමිසම විසින් නිරීක්‌ෂණය කර තිබිණි. රාජ්‍ය නිලධාරීන් පත් කිරීම. ස්‌ථාන මාරුකිරීම යනාදියට රාජ්‍ය පක්‌ෂයේ දේශපාලනඥයින් ඉහළ මට්‌ටමකින් ඇඟිලි ගසමින් සිටි ආකාරය වාර්තා කළ කොමිසම රටේ යහ පාලනය සඳහා යෝජනා කරනු ලැබුවේ මානව හිමිකම් කොමිසම, පොලිස්‌ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම, අධිකරණ සේවා කොමිසම වැනි ව්‍යවස්‌ථාපිත කොමිෂන් සභා ස්‌වාධීන කිරීමය. රටේ ව්‍යවස්‌ථාවට මෙම ස්‌වාධීන කොමිෂන් සභා එක්‌වූයේ 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙනි. එහෙත් 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ එම කොමිෂන් සභාවල බලය කප්පාදු වී තිබිණි. කොමිසමේ නිර්දේශ අනියමින් මෙ 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ ස්‌වරූපය ප්‍රශ්න කළේය.

මේ සියලු නිර්දේශ අතර අතිශයින්ම මානුෂීය කියෑවීම උතුරේ යුද්ධයෙන් පීඩාවට පත්වූ සිවිල් මිනිසුන් සම්බන්ධව ලියෑවී තිබිණි.

උතුරේ ජීවත්වන්නේ ඉන්දියාවේ මිනිසුන් නොවේ. මේ රටේ මිනිස්‌සුන්ය. මේ රටේ සමාජ සංස්‌කෘතික අනන්‍යතාවයේ වර්ණය ප්‍රකට කළ මිනිස්‌සුන්ය. යුද්ධයෙන් සහමුලින්ම වැනසී ගියේ මේ මිනිස්‌සුන්ගේ ජීවිතය. උතුරේ කිළිනොච්චියේත් මුලතිව්වලත් කිසිවෙක්‌ නොමළ නිවසක්‌ නොවීය. කාන්තාවෝ පනස්‌ නව දහසක්‌ යුද්ධය නිසා අසරණව උන්හ. ඔවුන්ට රැකවරණය සැපයූ පිරිමි එක්‌කෝ මියගොස්‌ සිටියහ. නොඑසේනම් කිසිදු සාධකයක්‌ නොතබා අතුරුදන්ව උන්හ. නැතිනම් නිදහසක්‌ නැති රැඳවියන් සේ රැඳවුම් කඳවුරුවල සිටියහ. මේ පවුල් විතැන් වී තිබිණි.

ඔවුහු සියලු සමාජ අපේක්‌ෂාවන්ගෙන් තොරව අන්ත දරිද්‍ර ජීවිත ගතකරමින් නොමැරී ජීවත්ව සිටියහ. දරුවන්ගේ තත්වය මෙන්ම හවුහරණක්‌ නැති වැඩිහිටියන්ගේ ජීවිත ද ඛේදවාචක විය. ඔවුන් තවමත් ජීවත් වෙමින් ඉන්නේ අපට වටහාගත නොහැකි මහා මානුෂීයඛේදවාචකයක කරවටක්‌ ගිලී යමිනි. කොමිසමේ ප්‍රධාන නිර්දේශය වූයේ මේ මිනිසුන්ට මිනිසුන් ලෙස ජීවත්විය හැකි ගෞරවාන්විත හා විශ්වාසනීය සමාජ පරිසරයක්‌ නිර්මාණය කිරීමය. ඒ සඳහා ඇවැසි දේශපාලනික විස`දුමක්‌ පිළිබඳ කොමිසම විශ්වාසය පළ කළේය. දැන් මේ කොමිසමේ නිර්දේශ හරහා නව ජීවිත කියෑවීමක්‌ අප හමුවේ විවරව තිබේ.

දෙමළ වූ නිසා ඇති වූ ප්‍රශ්නයක්‌ උතුරට නැති බව කියෑවෙන සුලභ තර්කය තුළ වන්නේ සිංහල වීම නිසා අපට අමතක කර දමන්නට උත්සාහ කරන උතුරේදී ප්‍රකට වූ මනුෂ්‍යත්වයේ ඛේදවාචකය බව අප තවම තේරුම් ගන්නට උත්සාහ කරන්නේ නැත. ඒ මානුෂීය වටහාගැනීම සඳහා අවශ්‍ය වන්නේ පැතිරී ගිය හදවතක්‌ පමණි. මේ රටේ ඇතිවූ කාලකණ්‌ණි යුද්ධවලට වගකිව යුත්තේ අසරණ සිවිල් මිනිසුන් නොවේ. මේ ජීවිතවල මානුෂීය වේදනාවන් කාලකණ්‌ණි අරමුණු සඳහා භාවිත කළ නින්දිත දේශපාලනයය. එය උතුරට මෙන්ම දකුණටත් පොදුය. උතුරේ ජන ජීවිතයේ සිදුවී ඇති මහා ඛේදවාචකයට මේ රටේ මිනිස්‌සුන්ට සංවේදී වන්නට හෝ පිළිගන්නට ඉඩ නොදීමත් මේ අර්ධ ගෝත්‍රික ම්ලේච්ඡ දේශපාලනයේ එක්‌ අභිමතයකි.

මේ රටේ සැබෑ මානුෂීය ගැටලුවලට පිළිතුරු ලැබෙනු ඇත්තේ රටේ මිනිසුන්ට මේ අවබෝධය ලැබුණු මොහොතේදීය.